නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්න උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ, කන්දකැටිය ප්‍රදේශයේ මාස පහකට පමණ පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරියක් මාස දෙකක් වයසැති බිළිඳියක් සමග කැලෑවක පිහිටි ගල් ගුහාවක සිටියදී සොයාගෙන තිබෙනවා.
දැරියගේ පවුලේ සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මනගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.
එම විමර්ශන අතරතුර ප්‍රදේශයේ වෙළඳසැලකින් දිනපතා පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සහල් මිලදී ගන්නා තරුණයෙකු පිළිබඳව පොලිසියට සැක මතුව තිබෙනවා.
ඒ අනුව ඔහු පිළිබඳව විමසිල්ලෙන් සිටි පොලිස් නිලධාරීන් තරුණයා පසුපස ගොස් ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑ ප්‍රදේශයකට ළඟා වී ඇති අතර, එහිදී ඉටි රෙදිවලින් ආවරණය කළ ගල් ගුහාවක් තුළ මාස දෙකක බිළිඳියක් සමඟ සිටි 15 හැවිරිදි දැරිය සොයාගෙන තිබෙනවා.
එහිදී බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය සහ බිළිඳිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධියට තරුණයාට සහාය ලබාදුන් බව කියන ඔහුගේ 36 හැවිරිදි ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දැරිය ගල් ගුහාව තුළදීම බිළිඳිය ප්‍රසූත කර ඇති බවයි. එහිදී කිතුල් කර්මාන්තයට යොදාගන්නා තියුණු ආයුධයකින් බිළිඳියගේ පෙකණි වැල කපා ඇති බව ද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
එමෙන්ම කැලෑවෙන් සොයාගත් බව කියන අත් බෙහෙත් භාවිත කරමින් මවට සහ බිළිඳියට ප්‍රතිකාර කර ඇති අතර, කිතුල් පැණි සෑදීමට භාවිත කරන තාච්චියක බිළිඳිය නහවා ඇති බවට ද 23 හැවිරිදි තරුණයා පොලිසියට පවසා තිබෙනවා.
පොලිස් භාරයට ගත් මව සහ බිළිඳිය පිරිසිදු කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.










