අවුරුදු 34න් මහාචාර්‍ය පදවිය ලැබූ ලංකාවේ ලාබාලතම විශේෂඥ වෛද්‍යවරයකු ගැන ඇසෙන කතාව මෙන්න

අවුරුදු 34න් මහාචාර්‍ය පදවිය ලැබූ ලංකාවේ ලාබාලතම විශේෂඥ වෛද්‍යවරයකු ගැන ඇසෙන කතාව මෙන්න

අවුරුදු 34න් මහාචාර්‍ය පදවිය ලැබූ ලංකාවේ ලාබාලතම විශේෂඥ වෛද්‍යවරයා

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා විශේෂඥ වෛද්‍ය චාමර ලක්මාල් දළුගම.

 

වසරකදී රන් පදක්කම් 9ක් ශිෂ්‍යත්ව සහ සම්මාන 15ක් හිමි කර ගත් පේරාදෙණියේ පළමු වෛද්‍ය සිසුවා.

 

පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉතිහාසයේ වෛද්‍ය සිසුවෙක් එක වසරකදී රන් පදක්කම් නවයක් ශිෂ්‍යත්ව සහ සම්මාන පහළොවක් ලබා ගත් ප්‍රථම අවස්ථාව හිමිකරගෙන තිබුනේ දළුගම ආරච්චිගේ චාමර ලක්මාල් දළුගම වෛද්‍ය සිසුවාය. එම සම්මාන ලබාගෙන තිබුණේ 2013 වසරේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ය.

 

බොහෝ සුවිශේෂී වන්නේ ඒ නිසාම නොවේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා ලෙස 2022 වසරේදී පත්වීමත් සමගය.

 

මේ වන විට ශ්රී ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්වරයා ලෙසද සායනික රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණායතනයේ සම්බන්ධීකාරකවරයා ලෙසද කටයුතු කරන මහාචාර්ය දළුගම දෙස් විදෙස් සුපතළ වෛද්‍යවරයෙකි.

 

වසර 1987 පෙබරවාරි 21 වැනි දින නාලිනී චම්පිකා ( විශ්‍රාමික ගුරු) මවගේත් දයානන්ද දළුගම ( විශ්‍රාමික බැංකු කළමනාකරු) පියාගේත් කුළුඳුල් දරුවා ලෙස මෙලොවට බිහි වූ චාමර ලක්මාල් දළුගම සිය නැගණිය ද සමග බාලවිය ගෙවූයේ පොරමඩුල්ලේය.

 

පොරමඩුල්ල කණිෂ්ඨ විද්යාලයෙන් මූලික අද්‍යාපනය ලැබූ ඔහු විශිෂ්ට පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල සමග පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත් වන්නේ අපොස සාමාන්‍ය පෙළ හැදෑරීමට ය. එහිදී ඒ දහයක් සහිතව 2003 වසරේ පාසලේ සිසුන් අතරින් සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට ඔහු සමත් වන්නේය.

 

උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරීම සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වූ චාමර ලක්මාල් දළුගම 2006 වසරේ විද්‍යාලීය විශිෂ්ට උසස් පෙළ ප්‍රතිඵල ලබා ගනිමින් විශ්වවිද්‍යාලයීය ප්‍රවේශය හිමිකරගත්තේය.

 

එතැන් සිට ආරම්භ වූ විශ්වවිද්‍යාල ජීවිතය චාමරට හිමිවූයේ ජයග්‍රහණ පමණක් මැයි කීවාට වරදක් නැත. සිව් වසරක විශ්වවිද්‍යාල ජීවිතයෙ සෑම වසරකදීම විෂයයන් 13 ට විශිෂ්ට සාමාර්ථ හිමිකර ගැනීමේ හැකියාව ලත් චාමර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉතිහාසයේ වෛද්‍ය පීඨ සිසුවෙකුට ලැබිය හැකි රන් පදක්කම් නවයක් සහ ශිෂ්‍යත්ව හා සම්මාන පහළොවකට හිමිකම ලබන්නට ද සමත් විය. වෛද්‍ය සිසුවෙක් ලෙස ඔහුට රන් පදක්කම් හිමිවූයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පළමු හා දෙවන කොටස්,ප්‍රසව හා නාරිවේද විද්‍යාව, ළමා රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාව,ව්‍යාධිවේද විද්‍යාව කායවිච්ඡේද විද්‍යාව සහ වෛද්‍ය පිඨයේ හොඳම වෛද්‍ය ශිෂ්‍යයා ලෙස ඇගයීමෙනි.

 

2013 වසරේ දී ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය විද්‍යායාලවල උපාධිධාරීන් අතුරින් හොඳම ශිෂ්‍යයා ලෙස පළමු ස්ථානය ලබා ගත් චාමර, වෛද්‍ය සිසුන් 1096 දෙනෙකුගෙන් ප්‍රථමයා ලෙසද රන් පදක්කම් හිමිකර ගෙන තිබේ.

 

2010 වසරේ කොළඹ ජාතික රෝහලේ මහාචාර්ය ඒකකය,ශල්‍ය ඒකකය සහ කායික වෛද්‍ය ඒකකයන්හි සීමාවාසී පුහුණුව ලැබූ චාමර 2014 වසරේදී විශ්වවිද්යාල වෛද්‍ය දෙපාර්තමේන්තුවට එක්ව කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය.

 

2017 – 2018 වසරවලදී පශ්චාත් උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් හදාරා අවසන් කළ චාමර කායික රෝග පිළිබඳ ආචාර්ය උපාධිය ද එම වසරේදීම ලබා ගත්තේය.

 

චාමර සිය දක්ෂතා තවදුරටත් ඔප් නංවා ගැනීමේ අරමුණින් පශ්චාත් උපාධි පුහුණුව සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජෝන් රැඩ්ක්ලිෆ්ට් රෝහල වෙත ගියේය.

 

බ්‍රිතාන්‍ය රාජකීය කායිකරෝග වෛද්‍යයවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්නට තරම්ම සුවිශේෂි දක්ෂතා දැක් වූ චාමර ලන්ඩන් ග්ලාස්ගෝ එඩින්බර්ග් යන ස්ථාන තුන හිදීම කායික රෝග වෛද්‍යවරුන්ගේ සාමාජිකත්වය ලබා ගත්තේය.

 

තවද අන්තරා සර්ග ග්‍රන්ථි පිළිබඳ, කායික රෝග පිළිබඳ සහ වැඩිහිටි රෝග පිළිබඳ ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අදාළව එහිදී විශේෂ උපාධි තුනක් හැදෑරීමට ද ඔහුට අවස්ථාව හිමිවන්නේ ය. එඩින්බර්ග් කායික රෝග වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ලබාදෙන ඉහළම පශ්චාත් උපාධි සුදුසුකමක් වන ගෞරව නාමය ද ඇමරිකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ද 2022 වසරේ හිමිකරගැනීමට තරම්ම චාමර දක්ෂයෙක් වන්නේය.

 

චාමර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2021 දිය. එවිට ඔහුගේ වයස අවුරුදු 34 කි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සහ පේරාදෙණිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස වැඩ භාරගන්නා චාමර ලක්මාල් දළුගම,ශ්‍රී ලංකාවේ කායික රෝග පිළිබඳ ලාබාලතම මහාචාර්යවරයා ලෙස මහාචාර්ය පදවිය ද හිමිකර ගන්නේය.

 

රෝගීන් දහස් ගනනකගේ ජීවිත රැකගැනීම සඳහා කාලය ශ්‍රමය කැප කරන මහාචාර්ය චාමර මේ වන විට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍යායතනයේ ලේකම්වරයා ලෙසද සායනික රෝග පිළිබඳ අද්‍යයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණ ආයතනය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරයි.

 

එසේම අධික රුධිර පීඩනය සම්බන්ධයෙන් පොත්පත් රචනා කර ඇති මහාචාර්ය චාමර පශ්චාත් උපාධි ශිෂ්‍යයන් සඳහා අධ්‍යාපනය පහසු කරන වීඩියෝ සහිත පාඩම් මාලාවක් you tube චැනලය සඳහා මුදා හැරීමටද කටයුතු කර තිබේ.

 

මහාචාර්ය චාමර ලක්මාල් දළුගම වැනි අති දක්ෂයන් ලොවටම ඇත්තේ අල්පයක් පමණි. ඒ අල්පයක් දෙනා අතරින් ලෝකයට සාපේක්ෂව මේ කුඩා දූපතෙන් බිහි වූ අති දක්ෂයන් ගණන ඉතා ඉහළ අගයකි. මානව සම්පත රටක ඇති ඉතාම වටිනා සම්පත බැව් සියලු දෙනා අවබෝධ කර ගත යුතු සත්‍යකි. මේ මහ පොළොවේ බිහි වූ, මේ මහ පොළොවේ හැදී වැඩුණු එවැනි අති දක්ෂයන්ගේ සේවය මේ රටට ලබා ගැනීම සඳහා ඔවුන් රැක ගැනීම සියලු දෙනාගේ වගකීමකි.

 

ඉඳුනිල් කහටපිටියගේ ලිපියක් ඇසුරෙනි.

මුල් ලිපි පහල කොමෙන්ටුවේ ඇත.

Local Gossip