බ්‍රිතාන්‍යයේ කාඩිෆ්හිදී ශ්‍රී ලාංකික තරුණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ලංකාවේ මෙන් ම බ්‍රිතාන්‍යයේ ද අවධානය යොමු වී තිබෙනවා.
නිරෝධා නිවුන්හැල්ල නමැති 32 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක එලෙස ඝාතනය කර ඇති අතර, සිද්ධිය වාර්තා වී සුළු වේලාවක් තුළ 37 හැවිරිදි තිසර වේරගලගේ නමැති සැකකරුවෙකු ස්ප්ලොට්හි සීවෝල් මාර්ගයේදී මනුෂ්‍ය ඝාතන චෝදනා මත අත්අඩංගුවට ගැනුණා.
ඔහු ඝාතනයට ලක්වූ තරුණිය දැන හඳුනන බවත් ඉකුත් සෙනසුරාදා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බවත් පොලිසිය පවසනවා.
ඉකුත් බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 7:37ට පමණ රිවර්සයිඩ්හි සවුත් මෝගන් පෙදෙසේ බරපතළ තුවාල ලද කාන්තාවක සිටින බවට දකුණු වේල්සයේ පොලිසිය වෙත දැනුම් දීමක් සිදු කර තිබිණි.
පරිපූරක වෛද්‍ය සේවකයින් ඒ වෙත පැමිණ තිබුණු නමුත් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මෙම කාන්තාව එම ස්ථානයේදී ම මිය ගොස් තිබූ බව යි.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඝාතනය සිදුවූ දා උදෑසන 7:30ත් 8:30ත් අතර දකුණු මෝගන් පෙදෙස හෝ සීවෝල් පාර අසල නවතා තිබුණු අළු පැහැති ෆෝඩ් ෆියෙස්ටා රථයක් සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව පොලිසිය පවසනවා.
“එදා එයා කතා කළේ නැහැ. ඊට පස්සේ මම මැසේජස් දැම්මා දැම්මා. 21 වෙනි දා. පස්සේ තමයි මහත්තයා දුවගෙන ආවේ හවස. මම කිව්වා, ‘උදේ ඉඳලා ළමයා කතා කළේ නැහැ,’. 12.30ට වගේ නේ කතා කරන්නේ. [ඒක] කිව්වා ම එයාට එක පාරට ඇඬුණා,”නිරෝධාගේ මව පවසන පරිදි ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග ඇය විවාහ වී ඇත්තේ, 2017 වසරේදී ය. ඔවුන් 2022 වසරේ බ්‍රිතාන්‍යය බලා ගොස් තිබිණි.
“හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. 2022 අවුරුද්දේ ගියේ. අවුරුදු 3ක් ගිහින්. එයා ස්ටුඩන්ට් ගියේ. දුව ඩිපෙන්ඩන්ට් ගියේ,” ඇය පවසනවා.
මිය ගිය නිරෝධා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා පසුව උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වී තිබේ.
“අපි අනුරාධපුරයේ හිටියේ. 2010 අපි මෙහේ ආවේ,” මව තවදුරටත් පැවසුවා ය.
“එක ම දරුවා පවුලේ. එයා ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්. යාළුවෝ තමයි කතා කරලා කිව්වේ මෙහෙමයි කියලා. එයා උදේ වැඩට යන වෙලාව තමයි ඒ. හත හමාරට තමයි ගෙදරින් එළියට බහින්නේ. එයා හරි වෙලාවට, පිළිවෙළට වැඩ කරන කෙනෙක්. ඒ යන අතරතුරදී තමයි මොකක් හරි වෙලා ඇත්තේ,” ඇය විස්තර කළා ය.
කෙසේ වෙතත්, තම දුවට සිදුවූ අනතුර තවමත් “අභිරහසක්” බව ඇය අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා ය.
“අපිත් හදන්නේ අගක් මුලක් හොයා ගන්න.”නිරෝධාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රිතාන්‍යයේදී සිදු කිරීමට නියමිත යි.
බී.බී.සී සිංහල