නෙදර්ලන්ත කතට දරුකමට හදාගන්න දුන් දියණිය අවුරුදු ගානකට පසු ඇත්ත මව සොයයි

නෙදර්ලන්ත කතට දරුකමට හදාගන්න දුන් දියණිය අවුරුදු ගානකට පසු ඇත්ත මව සොයයි

ශ්‍රී ලංකාවේදී උපත ලබා 1985 දී නෙදර්ලන්න ජාතික මවකට දරුකමට හදාවඩා ගැනීමට ලබා දුන් තරුණියක් වාද්දූව, ග්‍රෑන්ඩ් බීච් හෝටලයේ රැදී සිට ඇයගේ ශ්‍රී ලාංකික මව සොයමින් සිටී.

 

1985 අප්‍රේල් 23 දින කළුතර මහ රෝහලේදි උපත ලද ඇයගේ නම අසෝකා ලෙස ලංකාවේ අංක 3570 දරණ උප්පැන්න සහතිකයේ සදහන් වන අතර සේනානායක මුදියන්සේලාගේ චාන්දනී ලෙස මවගේ නම සදහන් වේ. උපත ලියාපදිංචි කර ඇත්තේ 1985 මැයි 13 දින කළුතර නගරය කොට්ඨාශයේ වෛද්‍ය ලේකම් ඇම් එච් සේනාරත්ත මහතා විසිනි. දරු උපත ලියාපදිංචි කිරීම සදහා 24 හැවිරිදි සේනානායක මුදියන්සේලාගේ චාන්දනී, මව ලෙසින් දැනුම් දී අතර දැනුම් දෙන්නාගේ ලිපිනය ලෙස සදහන් කර ඇත්තේ කැන්දගහවිල, පයාගල යන ලිපිනයයි. නමුත් ඇයගේ ස්ථිර ලිපිනය ලෙස සදහන් කර ඇත්තේ මාතර යන්නයි.
නෙදර්ලන්තයේ ජාකොබස් හාර්මන් මාරි බෑටන් මහතා (Jacobus Herman Marie Baaten) සහ එලිසබත් විතර්ලිමිනා බෑටන් මහත්මිය (Elisabeth Wilhelmina Baaten) විසින් වීර්නා එලිසබෙත් ජොස්පිහිනා බෑටන් (Verna Elisabeth Josphina Baaten) නමින් මෙම දරුවා 1985 මැයි 15 දින නීත්‍යානුකූලව ලබාගෙන තිබේ.

නෙදර්ලන්තයේ බාර්ගහහෝප් ජී 06, 6116 BK රූස්ට් හි පදිංචි බෑටන් යුවල නො. 19, යුනිටි ප්ලේස්, කොළඹ – 03 ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටිමින් මෙම දරුවා ලබා ගෙන තිබෙන බව දරුවා ලබා දීම වෙනුවෙන් වූ කොළඹ දිසා විනිසුරු එච් එස් අගලවත්ත මහතාගේ අත්සනින් යුත් 1985.05.15 නියෝගයේ සදහන් වේ.
සේනානායක මුදියන්සේලාගේ චාන්දනී නැමැති අයගේ උපන් දිනය ලෙස ඇයගේ දරුවාගේ උප්පැන්න සහතිකයේ සදහන් වන්නේ 1960 ජනවාරි 01 දිනයයි. සේනානායක මුදියන්සේලාගේ චාන්දනී සම්බන්ධයෙන් තොරතුරු සොයන්නේ ඇය හොදින් රැකබලා ගනිමින් ඉහළම මට්ටමින් සැලකිමට බවත් දැනටමත් වයස අවුරුදු 65 ක් වන ඇයගේ ඉතිරි ජීවිත කාලය ඉතා හොදින් ගත කිරීමට අවස්ථාව උදාකර දීම තම අරමුණ බවත් වීර්නා එලිසබෙත් ජොස්පිහිනා බෑටන් මෙනවිය (40) පවසයි. 1985.05.15 දින තමන් සමග තවත් දරුවෙක්ද තමන්ගේ නෙදර්ලන්තයේ මව විසින් ලබාගෙන තිබෙන බවත් මේ සමග දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ මාගේ ශ්‍රී ලංකාවේ මව, මම, අක්කා සහ මගේ නෙදර්ලන්තයේ මව බවත් වීර්නා එලිසබෙත් ජොස්පිහිනා බෑටන් මෙනවිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

 

තමන්ගේ ශ්‍රී ලංකාවේ මව හෝ මව සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් +32474754341 නෙදර්ලන්තයේ දුරකතන අංකයට හෝ +94741120821 යන දුරකතන අංකයට දුරකතන ඇමතුමක් හෝ වට්ස්ඇප් ඇමතුමක් ලබා දෙන ලෙස වීර්නා එලිසබෙත් ජොස්පිහිනා බෑටන් මෙනවිය ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබාදෙන අයෙකුට වටිනා මුදල් ත්‍යාගයක් ලබාදෙන බවද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නීය.
දරුවන් දෙදෙනා කුඩා කාලයේදි මව්වරුන් දෙදෙනා සමග පළමු ඡායාරූපයේත්, වීර්නා එලිසබෙත් ජොස්පිහිනා බෑටන් මෙනවිය දෙවන ඡායාරූපයේත් දැක්වේ.

ජයකාන්ත ලියනගේ – බළපිටිය

World Gossip