නාමලී ගමගේ
ලැබෙන ඕනෑම චරිතයකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත හැකි දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස මිෂෙල් දිල්හාරාට ඇත්තේ සුවිශේෂී පිළිගැනීමකි. පසුගියදා ‘ලලයි ලිලයි ලයි‘ ටෙලි නිර්මාණයේ ‘මිලා‘ගේ චරිතය ඔස්සේ අසීමිතව ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය මේ දිනවල රොන් සොයාහි හසරැලි ලෙසින් ඊට නොදෙවෙනි ආදරයක් ලබන්නීය.
කැලීන් Popular Awards සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වුණේ ඔබ. ඔබ එම සම්මානයෙන් පිදුම් ලබන දෙවැනි අවස්ථාව. මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මම ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලබන දෙවැනි අවස්ථාව මේක. මඟතොටදි හමුවෙලා කතාබහ කරන, මං වෙනුවෙන් ලයික්, කමෙන්ට්, ශෙයාර් කරන හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි. ඒ අය නිසා තමයි මට මේ සම්මානය ලැබෙන්නේ. ඒ වගේම Popular Awards නිර්මාතෘ ගීතාංජන ද කොස්තා මහතාටත්, ගරු විනිශ්චය මණ්ඩලයටත් මං ස්තුතිවන්ත වෙනවා මේ සම්මානය සඳහා මාව නිර්දේශ කිරීම සහ තෝරාගැනීම සම්බන්ධයෙන්.
ඔබ මොන චරිතය කළත් පුදුමාකාර විදිහට ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒ වගේ ආදරයක් ලබන්න මං වාසනාවන්තයි වගේම ඒ වෙනුවෙන් මං ලොකු කැප කිරීමක් කරනවා. ගොඩක් වෙලාවට ෂූටිං යන්නෙ පාන්දර 3ට 4ට. පාන්දර 12 පහුවෙනකම් ෂූට් කරන්න වෙන අවස්ථාත් තියෙනවා. ගෙදර අයගේ විශේෂිත දිනවලට පවා සම්බන්ධ වෙන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒත් මඟතොටදි හමුවෙලා කතාබහ කරන අය, පාසල්වලදි මුණගැහෙන දරුවන්ගේ ආදරය, සමාජ මාධ්‍යවල මං වෙනුවෙන් වැටෙන comment නිසා මගේ ඒ සියලුම විඩාවන් නැතිවෙලා යනවා. තව තවත් මගේ ගමනට ශක්තිය ලැබෙනවා.
මේ දිනවලත් ඔබ කාර්යබහුලයි නේද?
ඔව්. මේ දවස්වල රොන් සොයා නාට්‍යයේ රූගත කිරීම් දිගටම කෙරීගෙන යනවා. ඒ වගේම අදිරන් සිනමාපටය රිලීස් කිරීමේ වැඩවලටත් සම්බන්ධ වෙනවා. තවත් නිර්මාණ තුනකට ආරාධනා ලැබිලත් තියෙනවා. එක ඩ්‍රාමා එකක ෂූටිං මේ මාසේ පටන් ගන්නවා.
මිලාට වගේම ආදරයක් මේ දවස්වල හසරැලිටත් ලැබෙනවා නේද?
අනිවාර්යයෙන්ම. හසරැලි කියන්නේ මේ වෙනකම් කරපු චරිතවලට වඩා වෙනස් චරිතයක්. හසරැලිටත් ගොඩක් ආදරය ලැබෙනවා. ජීවන අරගලය සහ පවුලේ බර කරට ගන්න අක්කා කෙනෙකුගේ චරිතයක්. අද සමාජයේත් ගොඩක් ඒ වගේ අය ඉන්නවා. මම සමහර ආයතනවල ප්‍රෝගෑම්වලට ගියාම ගොඩක් ගෑනු ළමයි කියනවා හසරැලි එයාලගෙ ජීවිත කතාවට සමානයි කියලා. නිවන්ත ප්‍රසාර සර් කියන්නෙත් සමාජයේ කතා කළ යුතු නමුත් කතා නොකරන සමාජ කොටස් ගැන කතාකරන්න උත්සාහ කරන කෙනෙක්. ඔහු ඒ හරහා දෙන සමාජ පණිවිඩයට මම ගොඩක් කැමතියි. මමත් පහුගිය අවුරුදු ගාණෙම “සමාජ අදෘශ්‍යමානතාවය මිත්‍යාවක් නොව එය පවතින්නක්” කියන මගේ පොත හරහා කතා කරන්නේ ඔය දේමයි. ඒ පොතේ සඳහන් ගොඩක් චරිත මේ නාට්‍ය ඇතුළෙත් ඉන්නවා. ඒ වගේ චරිතයක් නිරූපණය කරන්න ලැබීම මටත් ලොකු අත්දැකීමක්.
ඔබේ ගීතයක් බොහෝ ප්‍රතිචාර ලබමින් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ශෙයාර් වුණා. ඒ අත්දැකීම කොහොමද?
‘රොන් සොයන්න බඹරු ඇවිත් නේදෝ’ මගේ පළමුවැනි ටෙලිනාට්‍ය ගීතය. රොන් සොයා අධ්යක්ෂ නිවන්ත ප්‍රසාර සර් මේ ගැන මට මුලින්ම කියනකොට නම් හිතේ පොඩි චකිතයක් ඇතිවුණා. මම ඒ වෙනකොට විශාරද ප්‍රථම විභාගය විතරයි කරලා තිබුණේ. මධ්‍යම විභාගයට ලෑස්ති වෙනගමන් හිටියේ. සංගීතවත් කළේ අශාන් ප්‍රනාන්දු අයියා. රචනා කළේ නිවන්ත ප්‍රසාර සර්. හිතුවට වඩා ලොකු පරාසයක මේක විහිදුණා. ටික් ටොක්වල අතිවිශාල වීඩියෝ ප්‍රමාණයක් හදලා තිබුණා. ඒ හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට පුළුවන් උපරිමයෙන් ඒ හැම වීඩියෝ එකක්ම මගේ pageවල දාන්න මං උත්සාහ කළා.
ළඟදි ඔබ බලන්න වැල්ලවායේ ඉඳන් සිසුන් 200කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ල තිබුණා නේද?
ඔව්. ඔව්. වැල්ලවායේ ජනප්‍රිය මීඩියා ගුරුවරියක් ඉන්නවා සුරේශි ඕමල්පගේ කියලා. ඇය දවසක් මට කෝල් කරල කිවුවා ඇගේ පන්තියේ ළමයි 200කට ආසන්න පිරිසක් කොළඹ ට්‍රිප් එකක් එනවා. එයාල ඔයාව හමුවෙන්න ලොකු ආසාවකින් ඉන්නේ. ඒකට අවස්ථාවක් දෙන්න පුළුවන් ද කියලා. මම හරිම කැමැත්තෙන් එකඟ වුණා. නමුත් ඒ ටීචර් එදා ඒක සූදානම් කරල තිබුණේ ඒ ළමයින්ට දෙන සප්‍රයිස් එකක් විදිහට. විහාරමහාදේවී උද්‍යානයේ තමයි අපි මුණගැහුණේ. එතැනදි මටත් ඒ අය එක්ක කතා කරන්න, පින්තූර ගන්න, විනෝද වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒක මගේ ජීවිතේට අමතකම නොවන අත්දැකීමක් වුණා.
පසුගිය දවස්වල ඔබ ඉන්දියානු මහකොමසාරිස්තුමා එක්ක ව්‍යාපෘතියක් කළා නේද? මොකක්ද ඒ?
ලෝක පරිසර දිනයට සමගාමීව ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ ඔහුගේ බිරිය තනූජා ජා මහත්මිය සමඟ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වූවා. දෙරට අතර පවතින පාරිසරික ගැටලු අවම කරන්න අපට ලබා දිය හැකි දායකත්වය සහ පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් කළ හැකි ව්‍යාපෘති මොනවද කියලත් සාකච්ඡා කළා. එදා අපි සංකේතාත්මකව තමයි රුක් රෝපණ වැඩසටහන ආරම්භ කළේ.