“පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසළින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පැවතීම නිසා යානය ගොඩබැස්සවීමට හැකියාව තිබුණේ නැහැ” කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් ප්‍රකාශයක්..

“පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසළින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පැවතීම නිසා යානය ගොඩබැස්සවීමට හැකියාව තිබුණේ නැහැ” කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් ප්‍රකාශයක්..

 

ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදි පසුගියදා වෙන්නප්පුවේදී අනතුරට පත් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය ගිංඔයට ගොඩබැස්සවීමට සිදුවූයේ එහි කාර්මික දෝෂයක් හටගැනීම නිසා බව සහයක ගුවන් නියමු පියාසර ලුතිනන් එරංග චාමර ඒකනායක ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී වෙන්නප්පුවට ඉහළ අහසේ යානය පියාසර කරමින් සිටියදී ගිංඔය පාලම මත සහ අවට සිටි පිරිස් දෑත් වනමින් ආධාර ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, විශාල පිරිසක් සිටීම සහ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇද තිබූ නිසා යානය පාලම මත හෝ මාර්ගයට ගොඩබැස්සවීමට නොහැකි වූ බවත් සුදුසු ස්ථානයක ගොඩබැස්සවීමට උත්සහ කළ අවස්ථාවේදී යානය කාර්මික දෝෂයක් පවතින බවට මියගිය ප්‍රධාන ගුවන් නියමුවාට සහ තමන්ට හැඟී ගිය බවයි සහයක ගුවන් නියමුවා සඳහන් කළේ.

කෙසේ වෙතත්, යානය හරවනවාත් සමග එය එක්වරම ගිංඔයට කඩා වැටුණු බව සාක්ෂි ලබාදෙමින් හෙලිකොප්ටරයේ සහයක ගුවන් නියමු පියාසර ලුතිනන් එරංග චාමර ඒකනායක වැඩිදුරටත් කියා සිටියා.

”වෙන්නප්පුවට ඉහළ අහසේ සිට යානය තරමක් පහත් කරනවාත් සමඟම ගිං ඔය පාලම මත සහ ඒ අවට සිටි පිරිස් දෑත් වනමින් අධාර ඉල්ලා සිටියා. පාලම මතට හෝ මාර්ගය මතට යානය ගොඩබැස්සවීමට හැකියාව තිබුණේ නැහැ. ඊට හේතුව පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසළින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පැවතීමයි. කෙසේවෙතත් අපි එහිදී අත වනමින් සිටි ජනතාවට වියළි ආහාර සහිත පැකට් පාර්සලයක් මුදාහැරියා.

සුදුසු ස්ථානයක යානය ගොඩබැස්වීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි කාර්මික දෝශයක් පවතින බවට ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටියට සහ මට හැඟීගියා. ආපදාවක් නොමැතිව සුදුසු ස්ථානයකට ගොඩබැස්වීමට උත්සාහ කරමින් ප්‍රධාන ගුවන් නියමුවා යානය හරවනවාත් සමගම එය එක්වරම ගිං ඔයට කඩාවැටුණා. මහත් පරිශ්‍රමයකින් ඉන් පිටතට පැමිණි මමත් සෙසු ගුවන් හමුදා සාමාජිකයින් තිදෙනාත්, සිරවී සිටි ප්‍රධාන ගුවන් නියමුවාගේ බඳ පටි ඉවත් කර කඩිනමින් ඔහු මාරවිල මූලික රෝහලට පිටත්කර යැව්වා”

Local Gossip