සමහර වෙලාවට අපි නොහිතන පොඩි පොඩි ප්‍රශ්න මොන තරම් දුරදිග යන්න පුළුවන්ද.?
මේ කියන්නෙත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්.
සිය දෛනික ආහාරයට දිය ලුණු වැඩියෙන් එක් කිරීම හේතුවෙන් තමන්ට අධි රුධිර පීඩනය රෝගය වැළඳී ඇති බව කියමින් තරුණ දෙදරු පියකු සිය බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා ගිය සිදුවීමක් ඈත ගම්මානයකින් වාර්තා වෙනවා.
කුඩා දරුවන් දෙදෙනකුගේ මව්පියන් වන මොවුන් දෙදෙනාම තිස් දෙහැවිරිදි වියේ පසුවෙන හසලකට නුදුරු නගරයක පෞද්ගලික ආයතන දෙකක සේවය කරන තරුණ යුවළක්.
පවුලේ ගෘහමූලිකයා වන ඔහු හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා. රෝගියා පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් පැවසුවේ රෝගියාට අධික රුධිර පීඩනය වැළඳී ඇති බවත් දිය ලුණු ආහාරයට ගැනීමේදී කල්පනාකාරී වන ලෙසත්.
රෝහලේ වාට්ටුවේ ඇඳමත සිටියදී ඔහුට සිතුනේ තමන්ට වැළඳුණු රෝගයට හේතුව සිය බිරිඳ දෛනික ආහාර වේලට අධික දියලුණු එකතු කිරීම නිසා තමන් මෙලෙස රෝගාතුර වූ බවයි.
තවදුරටත් මෙයා සමඟ නිවසේ රැඳී සිටිය හොත් තම ජීවිතයේ ඇත්තේද අවදානමක් බව අවබෝධ කරගත් ඔහු තීරණය කළේ නිවසට ගිය විගස මැයගෙන් හා දරුවන්ගෙන් වෙන් වී වෙනත් ප්‍රදේශයකට ගොස් රැකියාවක නිරත වීම යෝග්‍ය බවයි.
දින දෙකකින් පසු රෝහලෙන් පිටව නිවස කරා පැමිණි ඔහු බිරිඳ සමඟ පෙර මෙන් සුහඳ කතා බහක නිරත නොවූ අතර දරුවන් සමඟද කෙළිසෙල්ලමේ නොයෙදී සුපුරුදු නිදන කාමරයෙන් ඉවත්ව වෙනත් කාමරයක් තෝරාගෙන එහි කාලය ගත කළා.
මෙය බිරිඳට විශාල ගැටලුවක් වූ හෙයින් ඒ පිළිබඳව විමසීමේදී තමන්ට නිදහසේ සිටීමට ඉඩ දෙන්නැයි කියා ඇයට දොස් පවරා ඇති අතර, එසේ දිනක් පමණක් සිටි ඔහු බිරිඳ රැකියාවටත් දරුවන් දෙදෙනා පාසලටත් පිටත්ව ගිය පසු ඔහු සිය ඇඳුම් පැලඳුම් සියල්ල ගමන් මල්ලකට දමාගෙන සිය යතුරුපැදියෙන් ගමේ සිට කිලෝ මීටර් 80ක් පමණ දුර ප්‍රදේශයකට ගොස් තිබුණා.
සවස නිවසට පැමිණි බිරිඳ සැමියා ගැන සොයා බැලුවත් ඔහු නිවසේ නොසිටි නිසා ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තත් එයට ඔහු ප්‍රතිචාර දක්වා නැහැ. ඇය මේ පිළිබඳව ඇයගේ හා ඔහුගේ ඥාතීන්ට දැනුම් දී තිබෙනවා.
මොහුගේ මෙම හදිසි අතුරුදන්වීම සම්බන්ධයෙන් ඥාතියකු ඔහුගෙන් දුරකතනයෙන් විමසීමේදී පවසා ඇත්තේ තමන්ට අධික රුධිර පීඩන රෝගය වැළඳී ඇත්තේ වසර කීපයක් සිටම නිවසේ දෛනික ආහාරයට බිරිඳ විසින් අධික ලෙස දියලුණු එකතු කිරීම නිසා බවත් ආහාරයට එසේ ලුණු නොදමන්නැයි කීවත් එය දිගටම කර ගෙන ආ බවත් ඒ නිසා තමන්ට බිරිඳ ගැන ඇත්තේ දැඩි කලකිරීමක් නිසා මෙසේ දරුවන් හා බිරිඳව තනිකර දමා අම්පාර ප්‍රදේශයට පැමිණි බවයි.
මිතුරන් හා ඥාතීන් කීප දෙනකු එක්ව දෙපාර්ශ්වයම සමඟ කතා කිරීමෙන් පසු දියලුණු නිසා වෙන්ව විසිර යාමට තිබූ කුරුළු කැදැල්ලක් හා කුඩා දරුවන් දෙදෙනකුට පිය සෙනෙහස අහිමි වෙන්නට තිබූ අවාසනාවන්ත කතාවකට සහනයක් ලබා දී නැවත ඔහු ගමට ගෙන්වා ගැනීමට ඥාතීන්ට හැකි වුණාලු.












