අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන හැමෝම කතා වෙන වෙලාවක, ඇස් පෙනීම සම්බන්ධයෙන් ඉතාම සංවේදී වගේම තැතිගන්වනසුලු තොරතුරු කිහිපයක් දැන් අනාවරණය වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා අක්‍ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහත්මිය පවසන්නේ රටේ අන්ධභාවය පිළිබඳ තත්ත්වය සිතාගත නොහැකි තරම් බරපතල මට්ටමක පවතින බවයි.
ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම සම්පූර්ණයෙන්ම ඇස් පෙනීම අහිමි වූ පුද්ගලයින් 4,000ත් 5,000ත් අතර පිරිසක් ඉන්නවා. 2013 කළ සමීක්ෂණයකට අනුව මුළු ජනගහනයෙන් 2.7%ක්ම අන්ධභාවයෙන් පෙළෙන බවයි හෙළි වෙලා තියෙන්නේ.
මේ වෙද්දී වැඩිහිටියන් අතර “ඇසේ සුද” මතුවීමේ විශාල වර්ධනයක් තියෙනවා. මේකට දියවැඩියාව වැනි රෝග පාලනය නොකිරීමත් බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් ඇතුළු රෝගීන් 500ක් වෙනුවෙන් ගම්පොළ ශික්ෂණ රෝහලේදී දැවැන්ත අක්ෂි කඳවුරක් පවත්වා තිබෙනවා. මෙහිදී රෝගීන් 500කට නොමිලේ සැත්කම් කර කාච ලබා දීමට කටයුතු කර ඇති අතර, මෙය ගම්පොළ රෝහලේ 100 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය වූවක්.
වසර ගණනාවක් තිස්සේ ඇස් සැත්කම් කරගන්න බැරිව ලැයිස්තු වල ඉන්න අයට සහනයක් වෙන්න, එන මාර්තු මාසයේ අවසාන සතියේදී කොළඹ ජාතික අක්ෂි රෝහලේදී රෝගීන් 1,000ක් සඳහා නොමිලේ සැත්කම් 1,000ක් සිදු කිරීමට සූදානම් බවත් වෛද්‍ය රත්නායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ අක්ෂි වෛද්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉදිරියේදී රටේ අන්ධභාවය ගැන අලුත් සමීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතයි.












