අද උදෑසන වාද්දුව දුම්රිය ස්ථානයම කම්පාවට පත් කරමින් අතිශය අවාසනාවන්ත මාරක අනතුරක් සිදුව තිබෙනවා.
වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ පද්ධති විශේෂඥයෙකු (IT Systems Specialist) ලෙස කටයුතු කළ, කා අතරත් ජනප්‍රිය 42 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස දුම්රියට බිලිවී තිබෙන්නේ මුළු පවුලක්ම අනාථ කරමින්.
අද උදෑසන අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ අංක 317 දරන දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයට ළඟා වී තිබෙනවා. දුම්රිය නවත්වා නැවත ගමන් ආරම්භ කරන අවස්ථාවේදී, තමන්ට සුපුරුදු පරිදි රාජකාරියට යාම සඳහා මෙම පුද්ගලයා ධාවනය වෙමින් තිබූ දුම්රියට ගොඩවීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී අවාසනාවන්ත ලෙස පය ලිස්සා ගොස් ඔහු දුම්රිය පාපුවරුව යටට ඇද වැටී ඇති බවයි වාද්දුව පොලිසිය සඳහන් කරන්නේ. ක්ෂණයකින් සිදුවූ මෙම අනතුරෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ අකාලයේ සමුගෙන තිබෙන්නේ වාද්දුව, බාලිකා පාරේ පදිංචිව සිටි ගෝදූවගේ දොන් අනුරාධ ඉන්දික පෙරේරා නමැති අයෙක්. ඔහු පවුලේ බර කරට ගත් ආදරණීය පියෙකු මෙන්ම දක්ෂ වෘත්තිකයෙකු ලෙස ප්‍රදේශයේ කාගේත් ගෞරවයට පාත්‍ර වූ අයෙකි.
දුම්රියක් ගමන් ආරම්භ කරන විට හෝ වේගයෙන් පැමිණෙන විට එයට ගොඩවීමට උත්සාහ කිරීම කෙතරම් අවදානම්ද යන්න මෙම සිදුවීම අපට නැවතත් පසක් කර දෙනවා. මොහොතක හදිසියක් මුළු ජීවිත කාලයකටම කඳුළක් ඉතිරි කළ හැකි බව අමතක කරන්න එපා.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.












