මෙරට වඩාත් ගෞරව බහුමානයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාවේ නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර විවෘත කිරීම හෙට සිදු කෙරෙනවා.
ඒ කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදීයි.
ඒ අනුව නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ජීවමාන ස්වරූපය හා සමානව යළි ප්‍රතිස්ථාපනය කළ අනුරුව (11) සිට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතින බවයි ජාතික තෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි කියා සිටියේ.
ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට එක්වන්නේ වඩාත් විශ්වාසවන්තම හා සංයමයෙන් යුත් හස්තියා ලෙසයි.
13 වතාවක් දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිකරගත් නැදුන්ගමුවේ රාජා දිවිසැරිය නිමා කළේ 2022 වසරේ මාර්තු 07 වැනිදායි.
දළදා පෙරහර මෙන්ම දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෙරහර රැසක කරඬුව වඩම්මවමින් පෙරමුණ ගත් නැදුන්ගමුවේ රාජාගේ සුවිශේෂත්වය වූයේ කොපමණ දුරක් වුවද පාගමනින් පමණක් ගමන් කිරීමට දැක්වූ ලැදියාවයි.
මෙරට හීලෑ අලිඇතුන් අතරත් වඩාත් සංයමයකින් යුත් හස්තියා බවට පත්වීමට නැදුන්ගමුවේ රාජා කෙරෙහි බලපෑ තවත් සාධකයක් වූයේ කළු මාමා වෙතින් ලද ආදරණය හා කරුණාවයි.
සුපුරුදු පාගමනින් බණ්ඩාරගම ප්‍රදේශයේ පෙරහරකට සහභාගි වීම සඳහා නැදුන්ගමුවේ රාජා 2016 වසරේදී පාගමනින් පැමිණෙමින් සිටියදී යතුරුපැදි අනතුරකට ලක්වීමට ගොස් තිබූ අතර මෙම අනතුරේ අවදානමත් සමග ජාතික වටිනාකමකින් යුත් නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහා හිරු ප්‍රවෘත්ති ප්‍රථම වරට රට හමුවේ අනාවරණයක් සිදුකළා.
නැදුන්ගමුවේ රාජා හස්තියාට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව හිමිවුණේ එම අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙසයි.
නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරමින් ශ්‍රී දළදා මාලිගාවේද මැදිහත්වීම මත දේහය සංරක්ෂණය කිරීමට තීරණය කෙරුණේ හස්තියා වටා ගොඩනැගුණු ආගමික හා සංස්කෘතික වටිනාකම් මතු පරපුරටත් සන්නිවේදනය කරවීමේ අරමුණින්.
ඒ අනුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ස්වාභාවික ජෛව සත්ත්ව අස්ථි විද්‍යා අංශයේ චර්ම විශේෂඥයින් කණ්ඩායමක් විසින් හස්තියාගේ චර්මය ඉවත් කිරීම වැලිවේරිය ප්‍රදේශයේදී සිදුකළේ හස්තියාගේ මරණයේ සිට දින 14ක් තුළයි.
සත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව නැදුන්ගමුවේ රාජාගේ චර්මය සහ දළ යුගලය ඉවත් කිරීමට මෙම කණ්ඩායමට හැකිවුණා.
මෙරට වඩාත් ගෞරව බහුමානයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාවේ රාජා අදටත් මහනුවරදී ජීවමාන අයුරින් දැකගත හැකි ලෙසම නැදුන්ගමුවේ රාජා ද දැකගැනීමට අනිද්දා සිට ජනතාවට අවස්ථාව පවතින බවයි කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාතික තෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි කියා සිටියේ.
මෙම අවස්ථාවට එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ප්‍රධාන චර්ම ශිල්පී චමල්කා කොතලාවල ද එක්ව සිටියා.














