Home දේශිය පුවත් ඉංජිනේරුවන් පවා ගමට වතුර දෙන්න බෑ කියද්දී තනියම ඇලක් කපා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ...

ඉංජිනේරුවන් පවා ගමට වතුර දෙන්න බෑ කියද්දී තනියම ඇලක් කපා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැඩිම වී අස්වැන්න ලබන කුඹුරු යාය හැදු නිසි ගෞරවයක් නොලැබූ අසමසම ජාතික වීරයා..

0
38

අපේ රටේ මෑතකදී ජීවිතයෙන් සමුගත්, එහෙත් බොහෝ දෙනෙකුගේ අවධානය හෝ නිසි ගෞරවය නොලැබූ සැබෑම ජාතික වීරයෙකුගේ කතාවකි මේ. ඔහු නමින් සමරප්පුලිගේ සියදෝරිස් ය. උස්වැව මැටිගත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු, 1958 වසරේදී තම බිරිඳ වූ දොන් පේලිගේ චාර්ලිනා සමඟ බරවකුඹුක අබේසේකරගමට පැමිණෙන්නේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය යටතේ ඔවුන්ට ඉඩම් හිමි වූ නිසාවෙනි. එලෙස පැමිණි පවුල් හතළිහකට පමණ මුහුණ දීමට සිදුවූයේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකටය. ඊට හේතුව වූයේ චන්ද්‍රිකා වැවේ සිට පැමිණි මහ ඇළේ ජලය ඔවුන්ගේ ඉඩම්වලට වඩා පහළින් ගමන් කිරීමයි. මේ නිසා වසර හතක් පුරාවට කිසිදු වගාවක් කිරීමට ඔවුන්ට නොහැකි විය. මාස් කන්නයේ වර්ෂාව බලාපොරොත්තුවෙන් යම් ගොඩබෝගයක් වගා කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොවීය. එපමණක් නොව, බීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය රැගෙන ඒමටද ඔවුන්ට කිලෝමීටර් හය හතක් දුර පාපැදිවලින් වලවේ ගඟට යාමට සිදුවිය. තමන්ට හිමි වූ ඉඩම් පසෙක තබා අසල්වැසි ඉඩම්වල කුලී වැඩට යාමට ඔවුන්ට සිදුවීම මහත් ඛේදවාචකයක් විය.

ජලය ඉල්ලා සියදෝරිස් දිගින් දිගටම ලිපි මගින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගමට පැමිණි එවකට සිටි වාරිමාර්ග ඉංජිනේරුවන් පවා ප්‍රකාශ කළේ මෙම ගමට ජලය සැපයීම කිසිසේත්ම කළ නොහැක්කක් බවයි. වරෙක සියදෝරිස්ම පැවසුවේ රත්රන් පොළොවක් යැයි සිතා පැමිණි මේ බිම යකඩ පොළොවක් බවට පත්ව ඇති බවයි. එහෙත් ඔහු උත්සාහය අත්හැරියේ නැත. අක්කර කාලකවත් ඉඩම් හිමිකමක් නොතිබූ තමන්ට ලැබුණු මේ අක්කර පහ කෙසේ හෝ සරුබිමක් කරනවා යන දැඩි අධිෂ්ඨානයෙන් ඔහු අලුත් සැලසුමක් සකස් කළේය. දිනක් රොටවැව දිගේ ඇවිද ගිය ඔහුට එහි පිටවානෙන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගලා යන විශාල ජල කඳක් දැකගත හැකි විය. පිටවානේ සිට තම ඉඩම දෙස බැලූ විට හැතැක්ම භාගයකට වඩා දුරක් පෙනෙන්නට නොතිබුණද, තමන්ට අවශ්‍ය ආකාරයට පොළොව පිහිටා ඇතැයි ඔහු දැඩිව විශ්වාස කළේය. ඒ අනුව ඔහු තම අත වූ උදැල්ලෙන් පිටවානේ සිට ඉඩම දක්වා ජලය ගෙන යා හැකි ඇළක් කැපීම සඳහා මඟ සලකුණු කළේය.

එදින රාත්‍රියේ සියදෝරිස් මේ පිළිබඳව අසල්වැසියන්ට පැවසූ විට ඔවුන්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. බොහෝ දෙනෙක් ඔහුට උසුළු විසුළු කළ අතර, එවැනි වැඩ සඳහා කාලය වැය කළ නොහැකි බව පවසමින් ඔවුහු පිටව ගියහ. එහෙත් පසුගිය දේවල් ගැන පසුතැවෙන්නේ නැතිව, පසුදා උදෑසනම උදැල්ල සහ අලවංගුව අතට ගත් සියදෝරිස් තමන් ලකුණු කළ මාර්ගය දිගේ ඇළ කැපීම ආරම්භ කළේය. එතැනින් යන එන අය පවා ඔහු ගොන් බඳින කණුවක් යැයි කියමින් සමච්චලයට ලක් කළහ. මේ අතරතුර හම්බන්තොට හිටපු මහ ලේකම්වරයාද පැමිණ මෙම ඇළ කැපීම නතර කරන ලෙසත්, එසේ නොකළහොත් නීතිය ක්‍රියාත්මක කරන බවටත් තර්ජනය කළේය. ඒ කිසිවකින් අධෛර්යමත් නොවූ සියදෝරිස්, තමන්ගේ පාඩුවේ ඇළ කැපීමේ කටයුතු කරගෙන ගියේය. මාස තුනකට ආසන්න කාලයක් ඔහු තනිවම ඇළ කපන විට ඔහුගේ සහායට පැමිණියේ තවත් දෙදෙනෙකු පමණි.

අවසානයේ රොටවැවේ පිටවානෙන් එන ජලය සහ ඔහු කැපූ ඇළ එකට සම්බන්ධ කරන දිනය උදා විය. ඔහු එදින ගමේ සියලු දෙනාටම එතැනට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඇළ මාර්ගය සම්බන්ධ කළ විගසම ජලය ඉතා සෙමින් ඇළ දිගේ ගලා ගොස් වියළි ඉඩම් වෙත වැටෙන්නට පටන් ගත්තේය. එම ආශ්චර්යමත් දර්ශනය දුටු ගම්මුන් සියදෝරිස් අයියා දින්නා යැයි මහත් සතුටින් කෑගැසූහ. එවිට සියදෝරිස් ලබා දුන්නේ ඉතාමත් නිහතමානී පිළිතුරකි. ඔහු පැවසුවේ සියදෝරිස් දින්නා නොව අපි සියලු දෙනාම දිනුවා කියාය. ගම්මුන්ගේ උපහාසයට ලක්වූ ඔහුගේ මේ වීර ක්‍රියාව එදා බරවකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය නමින් ප්‍රසිද්ධියට පත් විය. ඉන්පසුව ගම්මුන් සියලු දෙනාම එක්ව ඔහු කැපූ කුඩා ඇළ අඩි තුනක් පමණ පළලට සංවර්ධනය කළහ. කිසිවෙකුගේ ආශිර්වාදයක් නොමැතිව ඔහු ආරම්භ කළ ඒ ව්‍යායාමය නිසා අක්කර සියයකට වැඩි භූමි ප්‍රමාණයක් යල මහ දෙකන්නයේම වගා කෙරුණු අතර, එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම වී අස්වැන්නක් ලබාගත් කුඹුරු යාය බවටද පත්විය. එදා පවුල් හතළිහකට සෙත සැලසූ මෙම ඇළ මාර්ගය අද වන විට පවුල් හැත්තෑවකට වැඩි ප්‍රමාණයකට ජීවය සපයයි.

සියදෝරිස්ගේ මෙම අපූරු වික්‍රමය පිළිබඳව හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කතුවරයෙකුද වන දෙනගම සිරිවර්ධන මහතා විසින් පුවත්පතකට විශේෂාංග ලිපියක් රචනා කළ අතර, එය පසුකාලීනව දහවන ශ්‍රේණියේ සිංහල පාසල් පෙළ පොතටද ඇතුළත් කෙරිණි. එහෙත් කනගාටුවට කරුණ නම්, පාසල් පෙළ පොතේ සිටියද අසල්වැසියන් කිහිප දෙනෙකු හැර වෙනත් කිසිවෙකුත් ඔහුව බැලීමට හෝ ඔහු සමඟ කතාබහ කිරීමට පැමිණ නොතිබීමයි. බොහෝ දෙනෙක් සිතා සිටියේ මෙය හුදෙක් පාසල් පෙළ පොතට සීමා වූ කල්පිත කතාවක් පමණක් බවයි. වසර අනූහතරක් ආයු වළඳා පසුගියදා සිය ජීවිත ගමන නිමා කළ සියදෝරිස්, තම අවසන් කාලයේදී නිතරම පැවසූ එක් දෙයක් විය. ඒ, තමන්ට මේ ලෝකයේ ඇසෙන මිහිරිම හඬ තමන් කැපූ ඇළේ ජලය ගලා බසින හඬ බවයි. මෙවැනි අසමසම ජාතික වීරයන් අප අතරින් නිහඬවම සමුගෙන යාමට පෙර, ඔවුන්ට ලබාදිය හැකි උපරිම ගෞරවය ලබාදීම අප සැමගේම යුතුකමකි.

 

Previous articleගෙදර කෙනෙක් එකපාරටම අසනීප වුණොත් AMBULANCE එකක් ගෙන්වන්නේ කොහොමද?
Next articleවම් අත එක්ක වම් පපුව වේදනා දුන්නොත් ඒ හෘදයාබාධයක් ? හෘදයාබාධ අවධානම මසකට කලින් ඔබටත් හදුනා ගන්න විදිහ මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights