ජනාකීර්ණ මාතර නගරයේ පීක්වැල්ල වංගුව අසල, දහසකුත් මිනිසුන් එහා මෙහා යන අතරේ පාර අයිනේ වැටී සිටි එක්තරා තරුණයෙක් කාගේත් අවධානයට ලක් වුණා.
පණ අදිනවාක් මෙන් බිම වැටී සිටි ඔහු දෙස බලන බොහෝ දෙනා සිතුවේ ඔහු අධික ලෙස බීමත්ව සිටින අයෙකු කියායි. ඒ නිසාම බොහෝ පිරිසක් ඔහු දෙස නොබැලුවාක් මෙන් යන්නට ගියා.
නමුත් මේ අතර එක් තරුණයෙක් සිය කාර්යයකට යන විටත්, නැවත විනාඩි 10 කට පසු එන විටත් මේ තරුණයා පෙර සිටි තැනම වැටී සිටිනු දක්නට ලැබුණා. කිසිවෙකුත් ඔහු අසලට නොයන නිසා කුතුහලයත්, මානුෂීය හැඟීමත් නිසා ඔහු මේ තරුණයා අසලට ගොස් පරීක්ෂා කළා.
ඔහු අසලට ගොස් කතා කරන විට හෙළි වූයේ කාගේත් හදවත කම්පා කරන පුවතක්. මේ තරුණයා බීමත් අයෙක් නොව, දින කිහිපයකින් කුසට අහරක් නොමැතිව “බඩගින්න වැඩි කමට” සිහි නැතිවී ඇද වැටුණු අයෙකි. ගාල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු මාතරට පැමිණ තිබුණේ රැකියාවක් සොයා ගැනීමටයි. ඔහුගේ මවද පාදයක් කපා දැමූ ආබාධිත තැනැත්තියක් බවත්, ජීවත් වීමට මඟක් සොයා ඔහු මාතරට පැමිණි බවත් පවසා තිබෙනවා.
1990 ගිලන් රථ සේවය කැඳවීමට සිතුවත්, මේ මොහොතේ ඔහුට අවශ්‍ය බෙහෙත් නොව කෑම වේලක් බව වටහාගත් ඔහුට සහය වීමට තවත් දෙදෙනෙකු ඉදිරිපත් වුණා.
එක් අයෙක් වහාම ගොස් කෑම පාර්සලයක් සහ වතුර බෝතලයක් රැගෙන ආ අතර, බඩගින්නේ මිය යන්නට ගිය මේ තරුණයා එම කෑම එක කටට දෙකට කෑවේ සැබවින්ම ඔහු සිටි අසරණකම පසක් කරමින්. තවත් අයෙකු වතුර බෝතලයක් ලබා දුන් අතර, අතේ සතයක්වත් නොමැතිව අසරණව සිටි ඔහුට නැවත ගාල්ලේ සිටින සිය මව අසලට යාම සඳහා අදාළ තරුණයා රුපියල් දහසක මුදලක්ද ලබා දුන්නා.
අවසානයේ රැකියාව පසෙක තබා තම ජීවිතය බේරාගත් ඒ තරුණයා පින් දෙමින් නැවත ගාල්ල බලා පිටත් වුණා. මිනිසුන් දහස් ගණනක් ගැවසෙන නගරයක, “බීපු මනුස්සයෙක්” කියා හැමෝම මඟහැරිය තැනක, මේ තරුණයින් තිදෙනා ඉදිරිපත් නොවුණා නම් ඇතැම් විට අද ඒ තරුණයා පාර අයිනේම අවසන් හුස්ම හෙළන්නට ඉඩ තිබුණා.
තවමත් මිනිස්කම ඉතිරි වී ඇති මිනිසුන් සිටින බවට මේ අපූරු කතාව සාක්ෂි දරනවා….
සමාජ මාධ්‍ය ඇසුරෙන්










