ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවර ඉටුකළ තැනැත්තෙක්.. දුශ්කරම කාලවලදී පවා කණ්ඩායම අත්නොහැරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිවිගමනට සමුදෙයි..

0
32

මේ තවත් ලෝක පූජිත ක්‍රිකට් තරුවක් ගැන ඇසෙන සංවේදී කතාවක් කිව්වොත් හරි.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂ්කරම යුගයකදී පවා නිර්භීත පිතිහරඹයකින් සහ වේග පන්දු යවන්නන්ට එරෙහිව නොබියව ක්‍රීඩා කිරීමෙන් එංගලන්තයට නව ජීවයක් ගෙන දුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොබින් ස්මිත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු බව 62 හැවිරිදි වියේ පසුවූවා.

ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පිහිටි සිය නිවසේදී දෙසැම්බර් 01 වැනිදා අනපේක්ෂිත ලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ක්‍රිකට් වලින් සමුගැනීමෙන් පසු රොබින් ස්මිත් මත්පැන් වලට ඇබ්බැහි වීම සහ මානසික සෞඛ්‍ය ගැටලු සමග සටන් කළ බව වාර්තා වෙනවා.

ඔහුගේ පවුල විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත්තේ, “රොබින් ආර්නෝල්ඩ් ස්මිත්ගේ අභාවය පිළිබඳව අපගේ ගැඹුරුම සහ අතිශය දුක්ඛිත ශෝකය ප්‍රකාශ කරමු. ඔහුගේ මරණයට හේතුව මේ වන විට අනාවරණය වී නොමැත. 2004 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මත්පැන් සහ මානසික සෞඛ්‍යය පිළිබඳව ඔහු කළ අරගල වාර්තා වී තිබුණත්, මරණයට හේතුව සම්බන්ධයෙන් අනුමාන කිරීම් පදනම් කර නොගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. මරණ පරීක්ෂණයෙන් එය තීරණය වනු ඇත.” යනුවෙන්.

1988 සිට 1996 දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 62කට ක්‍රීඩා කළ ස්මිත්, ලකුණු 43.67ක ඉහළ සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත් වූවා.

ඔහුගේ ක්‍රීඩා දිවියේ අමතක නොවනම අවස්ථාව වන්නේ, කට්ලි ඇම්බ්‍රෝස් සහ කෝට්නි වෝල්ෂ් වැනි ලොව වේගවත්ම පන්දු යවන්නන්ගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරයට එරෙහිව 1994දී ඇන්ටිගුවාහිදී රැස් කළ ලකුණු 175යි.

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකයේ ප්‍රකට පුද්ගලයන් රැසක් ශෝකය පළ කර තිබෙනවා.

හිටපු එංගලන්ත සගයෙකු වන මාර්ක් රැම්ප්‍රකාෂ් පවසා ඇත්තේ, “ඔහු පිතිකරුවෙක් ලෙස පුදුම සහගත වුණත්, ඊටත් වඩා හොඳ කෙනෙක් සහ කණ්ඩායම් සගයෙක්” බවයි.

විශේෂයෙන්ම 1991දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 148ක් ලබාගත් ඔහුගේ ඉනිම සිහිපත් කරමින්, වේග පන්දු හමුවේ ඔහුගේ දක්ෂතාවය සහ නිර්භීතකම අසමසම බව රැම්ප්‍රකාෂ් පෙන්වා දුන්නා.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් රොබින් ස්මිත්ට උපහාර දක්වමින් කියා සිටියේ, “රොබින් ස්මිත් යනු ඔහුගේ කාලයට වඩා ඉදිරියෙන් සිටි පිතිකරුවෙකි” යනුවෙන්.

ඔහු ලොව වේගවත්ම පන්දු යවන්නන්ට එරෙහිව සිනහවකින් සහ අසමසම ඔරොත්තු දීමේ හැකියාවකින් මුහුණ දුන් බවයි තොම්සන් සිහිපත් කර ඇත්තේ.

ඔහු එක් දින තරගවලදී ඕස්ට්‍රේලියාවට එරෙහිව 1993 දී එජ්බැස්ටන්හිදී ලබාගත් නොදැවී ලකුණු 167 (පන්දු 163) කඩඉම ද විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.

රොබින් ස්මිත් හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ දීර්ඝ කාලයක් ක්‍රීඩා කළ අතර, 1992 ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසි එංගලන්ත එක්දින කණ්ඩායමේ ද සාමාජිකයෙකු වූවා.

Previous article“සම්පත්…ඔයා ආදරෙන් ගොඩ නඟපු අපේ සුන්දර නිවහන ගංවතුරෙන් යටවෙලා ගියා… පීඩාවට පත්වුනු මටයි ,පුතාටයි සෙවණ දෙන්නේ …..” – රසිකයින්ගේ මුවඟට සිනහවක් ගෙන ආ ඇය සංවේදීව කියන කතාව…
Next article“බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා” ශාස්ත්‍ර­පති උපා­ධියත් අරගෙන කොළඹ විශ්ව විද්‍යාලයේ අය ගෙදර ඇවිත් – Photos