Home දේශිය පුවත් නීල අහසේ සිට සඳලතාටත් රන් තරුවලටත් ආද‍රෙන් ගී ගැයූ , කීර්ති පැස්කුවල්...

නීල අහසේ සිට සඳලතාටත් රන් තරුවලටත් ආද‍රෙන් ගී ගැයූ , කීර්ති පැස්කුවල් නම්වූ ” සොඳුරු ළයාන්විතයා ” සිය සංගීත චාරිකාවේ තව දවසක් ගැන හදවතින්ම කතා කරයි..

0
35

 

ඔහුට තියෙන්නෙ දිව්‍යමය කටහඬක්… ඒ හඬින් ගැයූ මනරම් ගී සුවහසක් රසික ජනතාවගේ හදවත් සුවපත් කරා… ඒ මදුර මනෝහර කටහඬ ඔසුවක් සේ දැනෙනකොට ඔහුට ආදරේ නොකරන්නේ කවුද ? ඉතින් අද කතා අපිත් එක්ක කතාබහ කරන්න එකතු වුණේ ඒ සොඳුරු සංගීතවේදියාණන්… කීර්ති පැස්කුවල නම් වූ යුග යුග හදවත් දිනූ ළයාන්විත ආදරවන්තයා…

මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

මේ දවස්වල සාමාන්‍යයෙන් මගෙ දෛනික වැඩ තියෙනවා.මගේ ක්ලාසස් වල වැඩ..වෙන වෙන වැඩසටහන්වලට යනවා.ඊට අමතරව මගේ අලුත්ම ගීතය මම පටිගත කළා පෙරේදා…ඒ ගීතය ඉදිරි කටයුතු ටික තමයි දැන් කරගෙන යන්නේ…

අපි කැමතියි ඒ ගීතය ගැන දැනගන්න චුට්ටක් ඒ ගැන විස්තර කියමුද ?

ඉතින් ඇත්තටම ඒ ගීතය ගොඩාක් ජනප්‍රිය වෙන ගීතයක් බවට පත්වෙයි කියලා මම හිතනවා …

ඇත්තටම මේ ගීතය පිළිබඳ මම කැමතියි පොඩ්ඩක් කතා කරන්න.

මේකෙ පදමාලාව විරහා ගීතයක වගේ..

ඒ කියන්නෙ තමන්ට ආදරය කරන කෙනාට සුභ පතනවා ඔබේ දුක මට දීලා ඔබ හොඳින් ඉන්න කියනවා වගේ … ඒක තමයි මේකෙ අර්ථයෙන් කියවෙන්නේ…

” මට ඉතින් සමුගන්න
අවසරද පවසන්න
දැනෙන දුක් වේදනා
දෙන්න මට ගෙනයන්න…”

මේ ගීතයේ එක් කොටසක් …

ඒක හරිම ලස්සන පද වැලක් ?

ඔව් ඒකේ අවසාන කොටසේ මෙහෙම කියනවා..

සසර හුරු පුරුදුකම්
තවත් බෑ ඉවසන්න
වෙනතකට යා නොදී
මතු භවය මට දෙන්න

ඇත්තටම හැමෝම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි මේ ගීතයේ අවසානයේදී කියවෙන්නේ. සසර හුරුපුරුදුකම් තවත් බෑ ඉවසන්න…වෙනතකට යා නොදී මතු බවය මට දෙන්න…

මේ ඉතාම ලස්සන පද රචනා කළේ නව පරපුර ඉතාම දක්ෂ කිවිඳියක් ගී පද රචකාවියක් වුණු සරෝජනී ජයතුංග විසින් …

මේ ගීතයේ තියෙන විශේෂත්වය තමයි ,Chorus and verse ගීතයක අපි සම්ප්‍රදායානුකූලව වෙන් කරනවනේ.. මේ ගීතයේ එහෙම නැහැ. මේක මුල සිට අග දක්වාම මේ ගීතයේ ගලාගෙන යනවා ඒ අදහස් මාලාව …

ඒ කියන්නේ මේ ගීතය නව ආරක ගීයක් ?

ඔව් අලුත් විදියක් මම හිතනවා ඉදිරියේදී මේ ගීත කලාව නව ආරක් වෙලා ගීත නිර්මාණය වෙයි. සාමාන්‍යයෙන් අපට හුරුපුරුදු ඇවිල්ලා , ගීතයේ chorus එක තුන් පාරක් විතර ගීතය පුරාම කියවෙනවා… versus දෙකක් විතර කියවෙනවා…
ඒක සාමාන්‍යයෙන් ගීත සම්ප්‍රදාය.

නමුත් මේක ඇතුලේ ඒ කතාව දිගට ගලාගෙන යනවා.ඒ කියන්න තියෙන දේවල් ටික අදහස් ටික කියවගෙන යනකොට කෙනෙකුගේ හදවතට ඒක දැනෙන දෙයක්…බවට පත් වෙනවා …

මෙහිදී නැවත නැවත එකම ටික ගායනා කිරීමක් වෙන්නේ නෑ.

මේ ආකාරයේ ගීත දැනට ලංකාවේ කියවිලා තියෙනවාද?

දැනට එකක් කියවිලා තියෙනවා… නුඹේ උණුසුම් හාදුවෙන් කියලා, අපේ නව පරපුරේ ගායිකාවක් ගායනා කරනවා. ඒ ගීතයේත් තියෙන්නේ මෙවැනි පද මාලාවක් තමයි.ඒ වගේම ඒ ගීතයේ පද සංගීතවත් කළ, කපිල අපරැක්ක තමයි මේ ගීතයත් සංගීතවත් කරේ..තනුව නිර්මාණය කළේ… ඔව් ඇත්තටම මේ ගීතයත් ඉතාම රහ , අපි ගීතයකින් බලාපොරොත්තු වෙන රසය තියෙනවනේ තියෙනවනේ… අපි ඒකට රහ කියලා කියන්නේ.. මොකද ඒකේ තියෙන්න ඕනේ ගොඩක් දේවල් පද මාලාවේ තියෙන අරුතබර බව දැනෙන හැඟීම් අපේ ජීවතේට කොච්චර සමීපද සංගීතය සහ ඒකට එකතුවෙන ගායනය තුළ තියෙන හැඟීම්… මම කියන්නේ නෑ මම හැඟීම් ඉතාම හොඳට ගායනා කරනවා කියලා… ගායකයෙකුගේ කටහඬින් තමයි ගීතයකට ජීවය ලැබෙන්නේ…පණ ලැබෙන්නේ… ඒ ගීතයට ආත්මයක් ලැබෙන්නේ… මං හිතනවා ඒ හඬ තුළ ගෙනියන පණිවිඩය තමයි කෙනෙකුගේ හදවතට දැනෙන්නේ එහෙම නැත්නම් කෙනෙකුගේ තමාගේ ගීතය තමාගේ කතාව වගේ දැනෙන්න ඒ ගීතය ඒ විදියට ගායනා කරන්න ඕන… දැන් ගායකයා අපි කතා කරන්නේ ප්‍රවාහකයා හැටියට… ඇත්තටම පදමාලාවක් හා තනුවක් ඒ මගින් ගායනා කරලා රහකින් ප්‍රේක්ෂකයා අතරට ගෙනයාම තමයි ගායකයාගේ වගකීම… ඒ ගීතයට කොයිතරම් හොඳ සාත්තුවක් දෙනවද කියන එක ..මත තමයි ඒ ප්‍රේක්ෂකයෝ ඒ ගීතය ආදරණීයව වැළඳ ගන්නේ..
මං හිතනවා ඒක ඕනම ගායකයෙකුගේ යුතුකමක් කියලා.

පණ්ඩිත් අමරදේවයන්, වික්ටර් රත්නායකයන් , මිල්ටන් මල්වආරච්චි ,අපිට කියලා දුන්න පාඩම් තමයි ගීතයත් කොයිතරම් හැඟීම්බරව ගායනා කළ යුතුද කියන කාරණය… මම හිතනවා මේ ගීතයත් ඒ වගේම , සුවිශේෂී ගීතයක් බවට පත්වේවි… මං සරෝජි ජයතුංග අපේ නව පරපුරේ කිවිදියට ස්තූතිවන්ත වෙනවා..මට මේ තරම් ඉතාමත් වටිනා පද මාලාවක් ලබාදීම පිළිබඳව…

මොකද මේ ආරේ ගීත නිර්මාණය වෙනවා හරි අඩුයි..

මම හිතනවා මේ ගීතයට ලොකු තැනක් ලැබේවි ප්‍රේක්ෂකයින්ගෙන්…

ප්‍රේක්ෂකයින් අතර ඉහළ තැනක් ලැබේවි ජනප්‍රිය වේවි කියලා මම විශ්වාස කරනවා…

මේ ගීතය කවද විතර අපට අහන්න ලැබේවිද?

ඇත්තටම මේ ගීතයේ කටහඬ පටිගත කිරීම සංගීතය මිශ්‍ර කරලා ඉවරයි… දැන් මේකට මම ලස්සන විෂුවල් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා… මේ ගීතයේ ගායකයාට තනි රකිනවා එක සංගීත භාණ්ඩයක්… චෙලෝ එක කියන සංගීතභාණ්ඩය , මේ ගීතයට යොදා ගන්නවා චෙලෝ වාදනය කරන ලස්සන යුවතියක්… මාත් එක්ක , මම මේ ගීතයට කැමති නැහැ කතන්දරයක් එකතු කරන්න… ඒ කියන්නේ කාගෙවත් පර්සනල් කතාවක් මේකට යෙදුවොත් ඒක පුද්ගලික වෙනවා… ඒක නිසා මේක හැමෝගෙම පොදු කතාවක් බවට පත්කරන්න මම ආසයි… මොකද හැමෝගෙම ජීවිතවල කොයි වෙලාවකක හරි අපිට විරහව විඳින්න වෙනවා… එහෙම සිද්ධවෙලා තියෙනවා… ඒක නිසා පොදුවේ හැමෝටම රසවිඳිය හැකි විශුවල් එකක් තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ…

ඒක ඉතාම ඉක්මනින් කරලා ඉතාම ඉක්මනින් මේ ගීතය තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රේක්ෂකයින්ට . මම මේ අවස්ථාවේ කියන්න කැමතියි කැමති , හිරු නාලිකාවට මේ ගීතය භාරදෙන්න.. අපේ ජනතාව අතරට ගෙනියන්න.. මුල් වතාවට හිරුනාලිකාව තුළින් මේ ගීතය ප්‍රචාරය කරවන්න කැමතියි..

ඔබතුමාගේ පෞද්ගලික තොරතුරු කිහිපයකුත් දැනගන්න කැමතියි ඔබතුමා සංගීත ක්ෂේත්‍රයට ඇවිදින් කොතරම් කාලයක් වෙනවද?

වයස අහුවෙන ඕවා කියන්න ගියොත් ( සිනාසෙමින් )

1976 තමයි මම සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ …වෘත්තීය වාදකයෙක් හැටියට… මහනුවර ගැලැක්සීස් කියන සංගීත කණ්ඩායමෙන්..
රූකාන්ත ගුණතිලක මහින්ද බණ්ඩාර, ස්ටැන්ලි පීරිස් අපි හතර දෙනා ඒ සංගීත කණ්ඩායමේ වාදකයන් හැටියට හිටියා …

ගායකයෙක් හැටියට ජනප්‍රිය වුණේ 1985 දී මුල්වරට කැසට් පටයක් නිකුත් වෙලා රූපවාහිනී වල මගේ ගීත විකාශනය වුණා … එත් සමග තමයි මං ගායකයෙක් බවට පත්වුණේ … 1985 දී දැනට වසර හතළිහකට කලින් … මෙතෙක් මම ගීත ක්ෂේත්‍රය තුළ බොහෝ දේවල් කරල තියෙනවා..මම හිතනවා මම ගොඩාක් ඉහලටම හිනි පෙත්තටම ගියපු නැති ගායකයෙක් . ඒවගේම මම පහළටම ගියෙත් නැහැ.. මම මධ්‍යස්ථව මේ සංගීත ක්ෂේත්‍රය තුළ තවමත් ක්‍රියාකාරීව සංගීතකරුවෙක් එහෙමත් නැත්නම් ගායකයෙක් හැටියට මං වැඩ කටයුතු කරනවා..

මම හිතනවා මේ විදිහට තවත් ඉදිරියට බොහෝ නිර්මාණ කරන්න පුළුවන් කියලා… මගේ කටහඬ මට පරිස්සම් කරගන්න පුළුවන් වෙලා තියෙන එක හේතුවක් තමයි මම කරන සංගීත පංති… මම දහස් ගණනක් සිසුන්ට සංගීතය උගන්වල තියෙනව ගායනය උගන්වලා තියෙනවා … දැනටත් කරගෙන යනවා … මගේ සතියේ දින හයක් මම කාලය වෙන් කරන්නේ මගේ සංගීත පංති වෙනුවෙන්..සංගීත පන්ති වලදි මම ගායනා කරනකොට මගේ කටහඬ යාවත්කාලීන වෙනවා.. ඉතින් ඒක නිසා මං හිතනවා මගේ ගායනය තාමත් හොඳින් පවත්වාගෙන යන්න මට ඒක උපකාරී වෙනවා කියලා …

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට බිහිවෙලා තියෙන නව පරපුර ගැන ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම දැන් නව පරපුරේ ගායන ශිල්පීන් ගත්තම අපේ කාලේ ගායන ශිල්පීන්ට වඩා දක්ෂතා තියෙන අය ගොඩක් ගොඩක් ඉන්නවා…

මොකද මේ අය තියෙන මේ පහසුකම් එක්ක, එහෙමත් නැත්නම් අන්තර්ජාතික වශයෙන් ඒගොල්ලන්ට මේ ලැබෙන විදේශ රටවල තියෙන ගීත පරිහරණයත් එක්ක ඒවත් එක්ක ඒගොල්ලන්ගේ ගායනය සහ එයාලගේ හැකියාවන් සහ දැනුම අපේ කාලෙට වඩා වැඩියි . ඒ වගේම ඒගොල්ලන්ගේ දක්ෂතාවයත් එහෙම්මම තියෙනවා..

එයාලා කරන නිර්මාණ අපි දකිනවා මේ හැම පැත්තකටම…

ඒ කියන්නේ හොඳ නිර්මාණ කරන අයත් ඒ වගේම බොහොම තාවකාලිකව ජනප්‍රියත්වය අපේක්ෂා කරමින් කරන නිර්මාණ කරන අයත් ඉන්නවා..හැබැයි මේක ඇතුලේ ගුණාත්මක ගීත නිර්මාණය කරන , ඉදිරියට යන්න ඕන කියන අපේක්ෂාවෙන් ගීත නිර්මාණය කරන අයත් ඉන්නවා…ඉතින් මං හිතනවා අපේ අනාගත පරපුර හුඟක් දක්ෂයි. ඒ අයට හොඳ අනාගතයක් තියෙනවා.හැබැයි හොඳ ගීත නිර්මාණය කරන අයට තමයි ඒක තියෙන්නේ… මාධ්‍යවලට ලොකු වගකීමක් තියෙනවා එවැනි ගුණාත්මක නිර්මාණය ඉස්සරහට ගෙනියන්න…

දැන් ඉන්න ජ්‍යෙෂ්ඨ පරපුර මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන කොට ඊළඟට භාරගන්න ඉන්න හොඳ නිර්මාණ කරන අය පිරිසක් අපිට ඉන්න ඕනි..

මං හිතනවා ඒ පිරිස අපි අතර ඉන්නවා කියලා . තරුණ පරපුර අතර ඉන්නවා ..

ඒ අයට අපි අවස්ථාව දීලා බලාගෙන ඉන්නවා .. මොකද ඒ අයගේ ගීත අපිත් රස විඳිනවා. ඒවගේම රස විඳින්න බැරි ගීතත් ඒ අස්සේ තියෙනවා.. මොකද කෙනෙකුට මතක හිටින්නේ නැති ගීත තනූ තව කෙනෙකුට ගායනා කරන්න බැරි ගීත , දැන් බලන්න කැරන්ස් මහත්මයාගේ ගීත සියයට අනූවකට ඒ ගීත ගායනා කරන්න පුළුවන්.. සාමාන්‍ය කෙනෙකුට වුණත්..

එහෙම ගීත ජනප්‍රිය වෙනවා කෙනෙකුට දැනෙනවා වැඩියි. එතකොට අන්න එහෙම නිර්මාණ ඉදිරි පරපුරට ගෙනියන්න තව කෙනෙකු අතට යන්න නම් ඒ ගීත තව කෙනෙකුට ගායනා කළ හැකි මට්ටමේ ගීත වෙන්න ඕන.සමහර වෙලාවට මේ විදේශ රටවල ගීත අනුකරණය කරමින් ඒ ශෛලීන් ගීත වලට ඇතුළත් කරමින් තමන්ගේ දක්ෂතාවය පෙන්නුම් කරන්න උත්සාහ කරනවා මිසක්.. තව කෙනෙකුට ගායනා කරන්න පුළුවන් කොපි කරන්න පුළුවන් ගීත අයනා කරනවා අපිට දකින්න ලැබෙන්නේ හුඟක් අඩුවෙන්…

මීට වඩා ඒ ගැන අපේ නව පරපුර හිතල බලන්න ඕනි. මොකද ජනප්‍රිය වෙන්නේ එහෙම කළොත්.දැන් උදාහරණයකට 1987 දී තමයි , මගේ සඳලතා පායලා කියන ගීතය නිර්මාණය කළේ .. සරත් ද අල්විස් මහත්මයා , ආචාර්ය අජන්තා රණසිංහයන් තමයි ඒක ලිව්වේ… එතකොට මම මේ නව පරපුරේ අයට දෙන අභියෝගයක් තමයි, එයා ගීතයක් නිර්මාණය කරනවා නම් තව අවුරුදු 50ක් ඒ ගීතය ජනප්‍රිය නම් වේදිකාවේ ඔබට ගායනා කරන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයෝ කැමතිනම් ,අන්න ඒ ගීතය තමයි සැබෑ ජනප්‍රිය ගීතය…සැබෑ ගුණාත්මක ගීතය කියලා ….

මම සඳලතා ගීතය ගායනා කරලා දැන් අවුරුදු හතළිස් ගාණක් වෙනවා.. තාමත් ඒ ගීතය ගායනා කරන්න කියලා මට ඉල්ලීම් කරනවා. අන්න ඒකයි මම කියන්නේ නව පරපුරේ අයට ජ්‍යෙෂ්ඨයින්ගෙන් යම් යම් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යන්න ඕන කියන එක තමයි… හැම තිස්සේම මම නව පරපුරට කියන්නේ…

සමහරවිට මේ ප්‍රශ්නය ඔබට අමාරු ප්‍රශ්නයක් වේවි, ඔබ ගැයූ ගීත අතරින් කැමතිම ගීතය මොකක්ද කියලා ඇහුවොත් ඔබට උත්තර දෙන්න පුලුවන්ද ?

ඒකනම් අතේ ඇඟිලි දහයෙන් කොයි ඇඟිල්ලටද කැමති කියලා ඇහුවා වගේ , ප්‍රශ්නයක් තමයි ඒක… ඇත්තටම කලින් කලට මම හිතනවා මම එක්තරා විදිහකට වාසනාවන්ත කලාකරුවෙක්…කලින් කලට මගේ පැවැත්ම සඳහා… මගේ ප්‍රේක්ෂකයන් අතර රැඳී සිටීම සඳහා මට ගීතයක් හැමතිස්සේම උඩට ආවා..

දැන් මම ආරම්භ කරපු ගීතය නීල අහසේ කියන ගීතය ජනප්‍රිය වුණා.

අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ සඳලතා කියන ගීතය ආවා… නිල් උපුලී ආවා… ඊට පස්සේ රන් තරු ආවා.. ඊට පස්සේ සිත සනසන ආදරේ ආවා…. ඔය විදියට ගීත රාශියක් මං වෙනුවෙන් නිර්මාණය වුණා..ඒවා ජනප්‍රියත් වුණා…

ඊට පස්සේ මම වසර හතරක් විතර විදේශ රටක ඉඳල 2004දී ලංකාවට ආවාට පස්සේ කදුළ ඉතිං සමාවෙයන් කියන ගීතය ආවා… ඒකෙන් නැවත වාරයක් ජනතාව අතරට මට යන්න හැකියාව ලැබුණා… ඊට පස්සේ තව අවුරුදු කීපයක් ගියාට පස්සේ තව දවසක් කියන ගීතය ආවා … ඒකත් ඒ විදියටම ජනතාව අතරට ගියා …

ඉතාමත් ජනප්‍රිය වුණා අදටත් හරිම ජනප්‍රිය ගීතයක්.මේ ගීත හැමදාම ප්‍රේක්ෂකයෝ ඉල්ලන ගීත බවට පත්වුණා.එතකොට ඒ යාවත්කාලීනවීම හැමදාම මගේ අතින් සිද්ධ වුණා …

මෑත කාලේ මම තවත් කීපයක් ගායනා කළා සොඳුරු බඹරෙක් කියලා..ඒ ගීතයත් ඉතාමත් ජනප්‍රියයි.. සුසුදු රැල්ලට කියලා ගීතයක් ගායනා කළා…
ඉතින් මගේ අලුත්ම ගීතය තමයි මට ඉතින් සමුදෙන්න කියන ගීතය…

මේ හැම ගීතයක් තුළින්ම මම උත්සාහ කරන්නේ, අපේ ප්‍රේක්ෂකයන්ට හොඳ යමක් දෙන්න … එහෙම නැත්නම් රසාස්වාදයක් ගෙන දෙන හොඳ නිර්මාණයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ … ඒ වෙනුවෙන් මම ගොඩාක් වෙලාවට හිතනවා පදමාලාව, සංගීතය ,තනුව , කොයිතරම් හොඳට මට ඒ ගීතය ගායනා කරන්න පුළුවන්ද කියන එක … මේ දේවල් තුළින් තමයි මම මේ ගමන යන්නේ…එතකොට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ඒ විදියටමටම තියාගන්න ,ඒක හුගක් උපකාරී වෙනවා…

Previous articleගැබ්බර මුවදෙනකගේ රස බලන්නට ගිය සාජන්ලාව ගම්මුන් එකතු වී දුන් අමතක නොවන පාඩම මෙන්න
Next articleඒ කාලේ මොන තරම් නම් සුන්දර ඇතිද ? යලි පරණ මතක ගොන්නක තනි වූ සුජීවා
error: Content is protected !!
Verified by MonsterInsights