සමහර දවස් තියෙනවා ජීවිතේ හරිම වෙහෙසකරයි කියලා දැනෙන.
හැමෝම තමන්ගේ ගමන යන්න කලබල වුණු ලෝකයක, අනුන් ගැන හිතන්න වෙලාවක් තියෙන්නේ කාටද? හැබැයි අද උදේ බත්තරමුල්ල ප්‍රදේශයේදී සිදුවුණු මේ සිදුවීම, මනුස්සකම තවමත් ඉතිරි වෙලා තියෙනවා කියලා අපිට මතක් කරලා දෙනවා.
තීවීල් රථයකින් බත්තරමුල්ලට හයර් එකක් ගිය තරුණයෙක්, තමන්ගේ රියදුරු මහතාට කතා කළේ හරිම ලෙන්ගතු විදිහට. හරියට කාලාන්තරයක් දන්නා අඳුනන මිතුරෙක් වගේ “මචං” කියලා ආමන්ත්‍රණය කරමින් ඔහු සුහදව කතාබහ කර තිබෙනවා. ගමන අතරතුර ඔහු අහපු ඒ එක ප්‍රශ්නයක් රියදුරු මහතාගේ හදවතම උණු කරන්න සමත් වුණා.
“ඈ බං.. උඹ කාලද ඉන්නේ?”
ඒ ප්‍රශ්නය අහලා නිකම් හිටියේ නැහැ, ඔහු වහාම ක්‍රියාත්මක වෙලා තමන්ගේ රියදුරු මිතුරා වෙනුවෙන් බීම එකකුයි, පේස්ට්‍රි එකකුයි කන්න අරන් දුන්නා. මහන්සි වෙලා රෝදය කරකවන මනුස්සයෙක්ගේ බඩගින්න ගැන තවත් තරුණයෙක් මෙහෙම හිතන එක කොච්චර සුන්දරද?
ගමන අවසානයේ හයර් එකේ ගාණ වුණේ රුපියල් 1,800ක්. ඒත් ඒ තරුණයා රුපියල් 2,000ක නෝට්ටුවක් රියදුරු අතට දීලා, “මේක තියාගන්න මචං” කියලා හිනාවෙලා යන්න ගියේ කිසිම ආඩම්බරයකින් තොරවයි.
ඇත්තටම මේ වගේ මනුස්සකම පපුවේ තියෙන කොල්ලන්ට ජීවිතේ හැමදාමත් වරදින්නේ නැහැ. මෙවැනි පුංචි දේවල් වලින් තමයි ලෝකය ලස්සන වෙන්නේ.
සමාජ මාධ්‍ය ඇසුරෙන්










