එදා සවස් යාමයේ සිදුවෙන්න ඇත්තේ කුමක්ද..?
ජයතිස්ස අන්න ඒ සිද්ධිය ගැන හැඬූ කඳුළින් මෙහෙම කියද්දී, මේ පුවත සමාජ මාධ්‍ය තුළත් දැඩිව සංසරණය වුණා.
එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකුට නොසිතූ මොහොතක ජීවිතය හැරදා යන්න සිද්ධ වෙලා. මේ ඇසෙන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්.
අලුත් අවුරුද්ද දවසේ දවල් දෙකට විතර අපි පස්දෙනා මහවැලි ගඟට පුතාගේ ත්‍රීවිල් එකකින් ගියා. මම ත්‍රීවීල් එකේ හිටියා. පුතාලා හතරදෙනා මාළු අල්ලන්න ගත්තා. මාළු අහුවුණේ නැති නිසා මම කිව්වා පුතේ මාළු අහුවෙන්නේ නැහැනේ රෑ වෙන්න එනවා කෑම උයන්න තියෙන නිසා ගෙදර යමු කියලා. ඊට පස්සේ පුතාලා නාන්න ගත්තා. මමත් නාන්න වතුරට බැස්සා. එක පාරට ම කකුලේ කෙන්ඩ පෙරලෙන කොට එතැන තිබුණු අඩි විස්සක විතර වතුර වළට මාව වැටුණා. මම කෑගහන කොට මියගිය පුත්තු තුන්දෙනාම මාව බේරාගන්න එතනට ආවා. ඇවිල්ලා බේරගන්න ගියාම තමයි පුත්තු තුන් දෙනා දියේ ගිලිලා නැති වුණේ යැයි සේරුනුවර මහවැලි ගඟේ දියේ ගිලී මියගිය සිය පුතුන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් කන්තලේ මූලික රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය පුතුන් තුන්දෙනාගේ පියා වන සේරු නුවර, මහින්දපුර, සෝමාවතී පාරේ පදිංචි පී. ජයතිස්ස පෙරේරා නමැති අය සාක්ෂි දෙමින් පැවසුවා.
පශ්චාත් මරණ පරීක්ෂණය කන්තලේ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දී මුතුර් අධිකරණ බලප්‍රදේශ හදිසි මරණ පරීක්ෂක ඒ.ජේ.එම්. නුරුල්ලා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙලෙස මිය ගොස් තිබුණේ සේරු නුවර, මහින්දපුර සෝමාවතී පාරේ පදිංචි පී. ප්‍රසාද් ලක්ෂාන් පෙරේරා (35), පී. තුෂාන්ත මධුසංක පෙරේරා (34) හා පී. දිල්ෂාන් ජයසංඛ පෙරේරා (25) යන එකම පවුලේ අයියා මලෝ තිදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාක්ෂි දුන් පියාවන පී. ජයතිස්ස පෙරේරා නමැති අය “මට දරුවන් හය දෙනෙක් ඉන්නවා. ලොකු පුතා ඩුබායිවල රැකියාවක් කරන්නේ, හතරවෙනියා දුව. එයාත් රැකියාවක් කරනවා. අනිත් අය සියලු දෙනාම සේරු නුවර තමයි පදිංචි වෙලා ඉන්නේ. මියගිය තුන්වෙනි පුතයි දැනට බේරුණු පස්වෙනි පුතයි පස්යාලයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඒ දෙන්නා අලුත් අවුරුද්දට නිවාඩු ඇවිල්ල තමයි අපි මහවැලි ගඟේ නාන්න ගියේ. මම ගඟට බැහැලා නානකොට මගේ කකුලේ කෙන්ද පෙරළෙන්න ගත්තා. මට පීනන්න පුළුවන්. එතනම තියෙන වතුර වළකට වැටුණා. අඩි විස්සක් විතර ගැඹුරයි. මම කෑගැහුවා. මගේ කෙන්ද පෙරලුණා කියලා.
එනකොටම දිය නාමින් හිටිය පුත්තු තුන්දෙනා මාව බේරගන්න එතනට ආවා. එතකොට ඒ අයත් අර අඩි 20ක් විතර ගැඹුරු වළට වැටුණා. මම බේරිලා පීනලා ගොඩට ආවා. ඒ වෙලාවේ ගොඩ හිටපු පොඩි පුතා වතුරට බැහැලයි හිටියේ මම ඒ පුතාටත් ඉක්මනට ගොඩට එන්න කිව්වා. මියගිය පුත්තු තුන්දෙනා පේන්න හිටියේ නැහැ..” ඔහු මෙලෙස පැවසුවා..











