බලෙන් නින්දට යන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ නින්ද තවත් ඈත් වෙන එකයි.. සුවබර නින්දක් ලබාගන්න නම් ඔබ කිසිසේත්ම නොකළ යුතු දේවල් මෙන්න..
රාත්රියේදී නින්ද නොයාම හෝ මධ්‍යම රාත්‍රියේ අවදි වූ පසු නැවත නින්දට යාමට නොහැකි වීම අප බොහෝ දෙනෙකුට අත්විඳින්නට සිදුවන පොදු ගැටලුවක්.
වයසට යාම, රාත්‍රියේ වැසිකිළි යාමට සිදුවීම, ආර්තවහරණය, සේවා වැඩ මුර වෙනස් වීම, ආතතිය හෝ සෞඛ්‍ය ගැටලු වැනි විවිධ හේතු නිසා මෙම තත්ත්වය ඇති විය හැකි අතර, ඇතැම් විට එය දිගුකාලීන නින්ද නොයාමේ (Insomnia) තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.
මේ පිළිබඳව නින්ද සම්බන්ධ විශේෂඥයන් පිරිසක් සමඟ සාකච්ඡා කර ඇති අතර, එහිදී අප සාමාන්‍යයෙන් සිතන ආකාරයට වඩා වෙනස් වූ පුදුම සහගත කරුණු රැසක් හෙළි වී තිබෙනවා.
නින්ද නොයන අවස්ථාවලදී බලෙන් නිදාගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ විරුද්ධ ප්‍රතිඵලයක් බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිදි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය කොලින් එස්පී පෙන්වා දෙනවා.
“මට ආයෙත් නිදාගන්න බෑ” යනුවෙන් ඕනෑවට වඩා සිතීමත්, නින්දට වැටීමට බල කිරීමත් නිසා මොළය තවදුරටත් අවදියෙන් සිටින බවත්, ඒ වෙනුවට අවදියෙන් සිටීමට තීරණය කර ස්වභාවිකව නින්ද ඇති වීමට ඉඩ දීම වඩාත් සුදුසු බවත් ඔහු පවසයි.
එසේම නින්ද නොයන විට ඇඳෙන් නැගිට පැය භාගයක් හෝ ඊට වැඩි කාලයක් වෙනත් සන්සුන් කටයුත්තක (පොතක් කියවීම වැනි) යෙදී නැවත ඇඳට යාමත්, සෑම දිනකම එකම වේලාවකට නිදාගෙන එකම වේලාවකට අවදි වීමත්, ඇඳේ වැඩ කිරීමෙන් හෝ සෝෆාවේ නිදාගැනීමෙන් වැළකීමත් වැදගත් බව විශේෂඥයෝ අවධාරණය කරනවා.
තවද, ඩිජිටල් තිරවලින් එන ආලෝකයට වඩා අප එම උපාංග හරහා සිදු කරන ක්‍රියාකාරකම් මොළය ක්‍රියාත්මක කිරීමට හේතු වන බව සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ෆේත් ඕචර්ඩ් පවසන අතර, මත්පැන් භාවිතය නින්දේ රටාවන් සහ හෝමෝන ක්‍රියාකාරිත්වයට බාධා කරන බවද සඳහන් වෙනවා.
සතියකට රාත්‍රී තුනකට වඩා වැඩි ගණනක් බැගින් මාස තුනකට වඩා නින්ද නොයාමේ ගැටලුව පවතී නම් සහ එය දෛනික කටයුතුවලට බලපෑම් කරන්නේ නම්, ඖෂධවලට වඩා සංජානන චර්යා චිකිත්සාව (CBT) වැනි ක්‍රම මඟින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් ඵලදායී බව ද නින්ද පිළිබඳ විශේෂඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මූලාශ්‍රය – BBC












