Home දේශිය පුවත් ‘ පවුල ‘ කියන්නේ ලෝකේ තියෙන ලස්සනම දේ කියලා මං සහතිකවම ලෝකෙට...

‘ පවුල ‘ කියන්නේ ලෝකේ තියෙන ලස්සනම දේ කියලා මං සහතිකවම ලෝකෙට කියනවා. ඒ පුංචි පවුල ගැන කසුන් ආදරෙන් කිව්වේ මෙහෙමයි.

0
153

ආදරණීය බව නම් වචනයෙන් විස්තර කරන්නේ කොහොමද..?

ඔවුන්ගේ ජීවිතවල ලස්සනම මතක රැස්වෙන කාලයක් තමයි මේ..

පුංචි කෛලාෂ්ගේ දඟවැඩ එක්ක ඒ දෙන්නාට දැන් පැය 24ත් මදි වෙලා වගේ..

හැම වෙලාවකම ඉන්නම හිත ගෙදරමයිලු.. ඔන්න ඉතින් බලන්නකෝ මේ පුංචි කුමාරයා මොන තරම් නම් හුරතල් ලෝකයක් මවනවාද කියලා.. මේ කසුන් ඒ ගැන එක්කළ ආදරණීය සටහනක්..

“මීට කලින් කවදාවත් නොදැනුණ විදිහට මං ජීවිතේට මාරම ලෝබ වෙලා. ඒ මයෙ කිරිකැටි කෛලාෂ් පුතා හන්දා. එයාගෙ මුවග හසරැලි ගංගාව හන්දා. එයාගෙ ඇස්දෙකෙන් වෑහෙන අමෘත රූ රස හන්දා. එයාගෙ දඟ මුසු හුරතලේ අනුහසින් මාව මේ සංසාරෙට බෝම තදින් ඇද බැඳ තියන හන්දා. එයා වෙනුවෙන් උපදින ආදරේ මයෙ ජීවිතේටත් වඩා බෝම විශාල හන්දා. ලෝකෙට කෑ ගහලා නොකියන , පපු පතුළෙ හංගාන නිහඬව පරිස්සමෙන් දරා ඉන්න ‘අප්පච්චිලෑ ප්‍රේම සාගරේ’ මේ වාගෙ වෙන්ටැති. ‘පුතෙක් කියන්නෙ රජෙක්’ කියලා අම්මාවරුන්ට දැනෙන්නෙත් ඒ ප්‍රේම සාගරේ ලෙය උරා ළය පුරා ගලායද්දි වෙන්ටැති.

පුතා එක්ක ගත කරන හැම තත්පරයක්ම මාව තව තව තරුණ කරවනවා. ‘අනේ කලබලයක් නැතුව හෙමීටම ලොකු වෙන්ට මයෙ ලොකු පුතේ’ කියලා එතකොට මට ඉබේටම කියවෙනවා. අම්මා ඉවුම් පිහුම් කරනකල් කෛලාෂ් පුතා මා එක්ක කදේ වැටෙනවා. එකේක සෙල්ලං කරලා, සිංදු අහලා, දසන් පපා හුරතල් දඟ පාලා ‘සිරිමත් මගෙ සකි’ සේ ඉන්නවා. මෙන්න යකඩෝ මාධවී ඇවිත් එයැයිව ගත්තු ගමන් හඬලා දොඩලා මිදුලට යන්ට – සැරිසරන්ට හර්තාල් කරන්ට ගන්නවා. ඉතිං පුතාගෙ ආසාව ඉස්මුදුනින්ම ඉෂ්ට වෙනවා. අම්මා ගාව විතරක්ම ‘සද්ද’ දාලා මයෙ හොරගෙඩියා ඇහැකොණින් මා දිහා බලලා හිනාවෙනවා. අම්මගෙ කොන්දේසි විරහිත ආදරේ ගැන දරුවො අතදරුවො කාලෙ ඉඳන්ම හොඳාකාරවම දන්නවා. ඒ පුදුමාකාර දාරක ඉව අප්පච්චිලෑ ඇස් සනහසින් පුරෝනවා. ‘පවුල’ කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම දේ කියලා මං දැන් සහතිකවම ලෝකෙටම කියනවා.

නිර්මාණ රාජකාරි වලට මොන මොන දීපංකරේ කරක් ගැහුවත් මට පුතාවම සිහියට එනවා. ‘සෝමතිලක ජයමහ’ මහත්තැන් කියන්නා වාගෙ ‘මගේ නිවන මගේ පැල්පතයි’ නේද කියලා අනේ ඉතිං දැනෙනවා. මේ ලෝකෙ ඉන්න ප්‍රීතිමත්ම කුරුල්ලා වාගෙ ආං එතකොට මං , මයෙ පුංචි කුරුලු කූඩුවට ගිසි ගා පියාඹලා එනවා. මයෙ කිරිල්ලි තුරුලෙ මන්දස්මිත මල් පොකුරක් දරාගෙන පුංචි කුරුලු පැටියා ඉන්න හැටි දැක්කම සියලු විඩාවන් දූරින්භූත වෙනවා. ජීවිතේ හැබෑ රස සතුටු කඳුලක් වෙලා මයෙ පපුව මැද්දෑවට ගලාගෙන ගලාගෙන යනවා !”

Previous articleඩෑන්ට වැඩේ දුන්නේ කවුද ? කංජිපානි ඇතුලු කිහිපදෙනෙක් ගැනම සැකයක්…
Next articleතවමත් මම ඔබගේ පලමු පෙම්වතා..” කාගේත් හදවතේ ගායකයා චාමර වීරසිංහ පවුලේ අය එක්ක එයාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights