ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්රයට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙමින්, LTL හෝල්ඩිංග්ස් අනුබද්ධ ලක්දනවි සමාගම ඉන්දියාවේ අන්දමන් දූපතේ මෙගාවොට් 57ක (57 MW) LNG විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ඩොලර් මිලියන 75ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 25ක් පමණ) දැවැන්ත කොන්ත්‍රාත්තුව දිනාගෙන තිබේ.
ඉන්දීය රජයට අයත් NTPC Limited හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) විසින් පවත්වන ලද ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් (ICB) ක්‍රියාවලියකදී අවම ලංසුව (L1) ඉදිරිපත් කරමින් ලක්දනවි සමාගම මෙම ව්‍යාපෘතිය හිමිකර ගැනීම විශේෂත්වයකි.
යෝජිත බලාගාර ව්‍යාපෘතියේ සම්පූර්ණ වගකීම් සහිත (turnkey) ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) ගිවිසුම පසුගිය 2026 සැප්තැම්බර් 21 වන දින ඉන්දියාවේ නොයිඩා හි පිහිටි NTPC කාර්යාල සංකීර්ණයේදී NVVN, ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබිණි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ඉදිරි සහයෝගීතාව පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.
අන්දමන් දූපත්හි, පෝට් බ්ලෙයාර්, හෝප් ටවුන් හි ඉදිවන මෙම බලාගාරය හරහා එම කළාපයේ විදුලි යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, LNG යටිතල පහසුකම් මගින් දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ කලාපයේ අනාගත ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ. මෙම බලාගාරයට අවශ්‍ය විදුලි ජනක යන්ත්‍ර ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම විසින් සපයනු ලබන අතර, සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි ඉංජිනේරු කණ්ඩායම විසින් දරනු ලබයි.
1990 දශකයේ අගභාගයේ LTL හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත ලක්දනවි සමාගම, ස්වාධීන බලශක්ති නිෂ්පාදකයෙකු (IPP) ලෙස විදුලි උත්පාදනයේත්, තාප සහ පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා මෙහෙයුම් හා නඩත්තු (O&M) සේවා සැපයීමේත් දශක ගණනාවක පළපුරුද්දක් සතු ආයතනයකි. මීට පෙර බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයිනේ ද සාර්ථකව ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ලක්දනවි සමාගම, මෙම නව ගිවිසුමත් සමඟ ඉන්දියාවේ විදුලි බලාගාර EPC වෙළෙඳපොළට පිවිසෙමින් සිය කලාපීය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරයි.
විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන ක්ෂේත්රයන්හි නියැලෙන LTL හෝල්ඩිංග්ස් ද ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ බලගතුම සමාගමයි. ලංකා විදුලිබල මණ්ඩලය සහ යුරෝපීය සමාගමක හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ LTL හෝල්ඩිංග්ස් හි කොටස්වලින් 35%ක් හිමි වන්නේ බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින, ශ්‍රී ලංකා රජයට අයත් NTNSP ආයතනයටයි.
LTL හෝල්ඩිංග්ස් කළමනාකාරීත්වය සමඟ පැවති හමුවකදී මෙරට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ලක්දනවි සමාගම ලද මෙම ජයග්‍රහණය පිළිබඳව රජයේ සතුට හා ප්‍රශංසාව පළ කර ඇත. ඉන්දියාව වැනි විශාල හා අතිශයින් තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.
මේ හරහා ද ලක්දනවි සමාගම ලැබූ ජයග්‍රහණයේ ජාතික වැදගත්කමත් ශ්‍රී ලාංකික සමාගම් තම සුවිශේෂී විශේෂඥතාව ජාත්‍යන්තර වෙළෙඳපොළවලට සාර්ථකව රැගෙන යාමේ වැදගත්කමත් තහවුරු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නුහුමාන් මරික්කාර් මහතා සඳහන් කළේ, මෙය ලක්දනවි සමාගමට සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්රයටම ලැබුණු කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි.
සමාගමේ තාක්ෂණික හැකියාව, කණ්ඩායමේ කැපවීම සහ දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශයන්හි ද සංකීර්ණ විදුලි යටිතල පහසුකම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට ඇති හැකියාව කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ගිවිසුමෙන් මනාව පිළිබිඹු වන බව ද ඒ මහතා පෙන්වා දෙයි. තවද ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට NVVN සමඟ සමීපව කටයුතු කිරීමට ලක්දනවි සමාගම බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කරයි.
සාම්ප්‍රදායිකව ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා යනු මෙරටට ලැබෙන ඉන්දීය ආයෝජන, සංවර්ධන ආධාර සහ යටිතල පහසුකම් ව්‍යාපෘති මත පමණක් පදනම් වූවක් ලෙස දැකීම සාමාන්‍ය ස්වභාවය විය. එහෙත්, මෙම සුවිශේෂී ජයග්රහණයෙන් තහවුරු වන්නේ එවැනි ආර්ථික සහයෝගීතා අවස්ථා දෙරටටම හිමිවන බවත්, ශ්‍රී ලාංකික ව්‍යවසායන් ද තම වෘත්තීය නිපුණතාවෙන් යුතුව එම අවස්ථා සාර්ථකව අත්පත් කරගත යුතු බවත්ය.














