මේ කතාවේ හිමිකාරිය 44 හැවිරිදි ගීතා විනෝදනී. ඈ අද පසුවන්නේ බඩවැලේ හටගත් මාරාන්තික පිළිකා රෝගයක් නිසා ජීවිතයත් මරණයත් අතර සටනකයි.
නැටුම් ඩිප්ලෝමාධාරිනියක වූ ගීතා, වසර ගණනාවක් ජගත් සමඟ පෙම්වතුන් ලෙස සිටිමින් දහසක් බලාපොරොත්තු ඇතිවයි යුග දිවියට පිවිසියේ. නමුත් පිළිකාව ඔවුන්ගේ ඒ ලස්සන ලෝකය උඩුයටිකුරු කළා. අද ඇය එක්තැන් වී සිටියත්, ඇගේ සැමියා ජගත්සේකර ඇයව බලාගන්නේ දේවත්වයෙන්. “මගේ සියලුම කැත කුණු අතගාමින්, මට සැරෙන් වචනයක්වත් නොකියා ඔහු මාව බලාගන්නවා” යැයි ඇය පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනයි.
බිරිඳගේ මිල අධික ඖෂධ වෙනුවෙන් මුදල් සෙවීමට 45 හැවිරිදි ජගත් තෝරාගෙන ඇත්තේ අතිශය දුෂ්කර රැකියාවක්. වන සතුන් ගහන වනය මැදින් ගොස් අඹන් ගඟේ කිමිදී ඔහු දවස පුරා වැලි ගොඩ දමනවා. “බිරිඳටයි දුවටයි පේන්න මම අඬන්නේ නැහැ, ඒත් මම විඳින දුක ගඟ මැදදී හඬමින් ගඟට කියනවා” යැයි ඔහු පවසන්නේ ඉකිබිඳිමින්.










