Home දේශිය පුවත් ඇමරිකානු ගුවන් හමුදාවෙන් කර්නල් පදවියක් ලැබුණු හේනේපොළ ගුණරතන හිමියන් ගැන ඇසෙන වෙනස්ම...

ඇමරිකානු ගුවන් හමුදාවෙන් කර්නල් පදවියක් ලැබුණු හේනේපොළ ගුණරතන හිමියන් ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න.

0
258

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ උඩ පළාතේ, නැඟෙනහිර කෝරළයේ දෙහිදෙණිය වසමේ, හේනේපොළ ගමේ දිළිඳු පවුලකින් මෙලොව එළිය දුටු හෙනේපොළ ගුණරතන හිමියන් අනේක විධ දුෂ්කරතා මැදින් ශාසනයේ දොරගුළු විවර කරගෙන බුදුදහම ලොව පතළ කිරීමට සිදු කර ඇති මෙහෙවර සුවිශේෂී ය. ඒ අමිල මෙහෙවරට උපහාරයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ හයිව්විව් ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද ‘හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානය’ උන්වහන්සේගේ 99 වන ජන්ම දිනයට සමගාමීව මැයි මස 02 වැනිදා සම්බුද්ධ ශාසනයට පූජා කරන ලදී.

බෞද්ධ උරුමය සුරක්‍ෂිත කිරීම උදෙසා ස්ථාපනය කර ඇති ‘හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානය’ වර්ග අඩි 6000කට වැඩි ප්‍රමාණයකින් යුතු විශාල මධ්‍යස්ථානයකි. ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය කර ස්ථාපනය කර ඇති එම මධ්‍යස්ථානය හුදු
ගොඩනැඟිල්ලක් පමණක් නොවේ. මෛත්‍රිය, කරුණාව, සාමය, ප්‍රඥාව සහ සේවාවට කැප වූ ජීවිතයක ජීවමාන සංකේතයක් ලොවට ප්‍රදර්ශනය කරන ථෙරවාද සම්ප්‍රදායේ කෞතුගාරයකි. මහල් දෙකකින් යුක්ත එම මධ්‍යස්ථානයේ පළමු මහලේ ධර්ම ශාලාව, කෞතුකාගාරය සහ කාර්යාලය පිහිටා ඇත. දෙවැනි මහලේ භික්‍ෂූන් වහන්සේගේ නවාතැන් සඳහා කාමර හතරක් ස්ථාපිත කර ඇත. හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ විසින් විවිධ අවස්ථාවල, විවිධ මාතෘකා ඔස්සේ දේශනා කරන ලද ධර්ම දේශනා 1200කට වැඩි සංඛ්‍යාවක් එම මධ්‍යස්ථානයේ Audio/video/ studio හි තැන්පත් කර තිබේ. විනාඩි පහ, දහය, පැය ඊටත් වැඩි කාලයක් දේශනා කරන ලද ධර්ම දේශනා වෙන්, වෙන් වශයෙන් සංරක්‍ෂණය කර තැබීම නිසා ශ්‍රාවකයන්ගේ කැමැත්ත මත ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ද අවස්ථාව තිබේ. වසර 75කට වැඩි කාලයක සිට හේනේපොළ ගුණරතන හාමුදුරුවන් එකතු කරන ලද දුර්ලභ ලේඛන, ඓතිහාසික ඡායාරූප, ලෝක නායකයන් හමු වූ අවස්ථාවල ලබාගත් ඡායාරූප හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානය තුළ ප්‍රදර්ශනයට තබා ඇති බව ද සිහිපත් කළ යුතු ය. එමෙන්ම ථෙරවාද සම්ප්‍රදාය පිළිබඳ විවිධාකාර තොරතුරු එම මධ්‍යස්ථානය තුළ සංරක්‍ෂණය කර තිබේ. හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානය හරහා බෞද්ධ කලා නිර්මාණකරණය ගැන ලොව දැනුවත් කිරීමට ද සැලසුම් සකස් කර තිබේ. ශ්‍රී ලංකාවේ, තායිලන්තයේ, බුරුමයේ, කාම්බෝජයේ බුදුපිළිම, චෛත්‍ය ‘හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානය’ තුළ දැනටමත් ප්‍රදර්ශනයට තබා ඇත. ලංකාවේ සඳකඩ පහන, කොරවක්ගල්, මුරගල් ආදී විශේෂ කලාංග ද එම මධ්‍යස්ථානය තුළ සංරක්‍ෂණය කර ඇත.

ශ්‍රී ලංකාවේ දුප්පත් දරුවන්ගේ නැණපහන් දැල්වීමට සහන සැලසීම, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූ පුද්ගලයන් මතින් ගලවාගැනීමට උපදේශන සේවා සැපයීම, භාවනා කිරීමට කැමැති පුද්ගලයන්ට උපදෙස් ලබාදීම හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානයේ ප්‍රධාන සේවාවන් බව ද සැබෑය. ලොව පුරා සිසුන්ට, පර්යේෂකයන්ට අධ්‍යයන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් ලබාදීම, බෞද්ධ ධර්මය ලොව ප්‍රචලිත කිරීම, සාමය සහ මනෝසන්තානය ප්‍රවර්ධන වැඩසටහන් ආදී සමාජ සද්කාරයන් සිද්ධ කිරීම ද හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානයේ ප්‍රමුඛ කාර්යභාරයකි. ධර්ම ගබඩාවක්, බෞද්ධ පාසලක්, භාවනා මධ්‍යස්ථානයක්, කෞතුකාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත ‘හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානය’ හෙවත් ‘භාන්තේ ජී හෙරිටේජ් මධ්‍යස්ථානය’ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය ලොව පතළ කරන ‘ශ්‍රී ලාංකීය බෞද්ධ මධ්‍යස්ථානයක්’ ලෙස සැලකිය හැකි බව හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ ද අප සමග පැවසූහ.

“ලෝකය පුරා රට, රටවල සංචාරය කර, ඒ රටවල නායකයන් හමුවෙච්ච අවස්ථාවල උන්වහන්සේට පූජා කරපු විශේෂ තෑගි විශාල ප්‍රමාණයක් භාවනා මධ්‍යස්ථානය පුරා තැන, තැන විසිරිල තිබුණා. හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ට ලැබුණු අග්‍රමහා පණ්ඩිත උපාධිය, සංඝ නායක පදවියේ සන්නස් පත්‍රය, තවත් සහතික පත් රාශියක් පොත් කබඩ්වල අපිළිවෙළට දාලා තිබුණා. උන්වහන්සේ ලියපු පොත්පත්, ලේඛනත් තැන, තැන පොත් කබඩ්වල දාලා තිබුණා. ඒ සේරම එකතු කරල විශේෂ ගොඩනැඟිල්ලක් තුළ පිළිවෙළට තැන්පත් කරන්න මම අදහස් කළා. ඒ වගේම ඇමරිකාව තුළ ථෙරවාදී බුදුදහම ස්ථාපිත කළේ හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ. උන්වහන්සේ ප්‍රථමයෙන් වැඩසිටි වොෂින්ටන් බෞද්ධ විහාරය ඇමරිකාවේ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය. මේ වෙනකොට ඇමරිකාව පුරා ථෙරවාද විහාරස්ථාන 3000ක් පමණ ආරම්භ වෙලා තියෙනවා. ඒ අනුව ඇමරිකාවේ ථෙරවාද සම්ප්‍රදාය ඉතිහාසයේ ජීවමාන සාධකය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ. උන්වහන්සේ ජීවතුන් අතර සිටිය දීම ඇමරිකාවේ ථෙරවාද සම්ප්‍රදායේ ඉතිහාසය එක ස්ථානයක පිහිටුවීම මගේ සිහිනයක් වෙලා තිබුණා. කෙටි කාලයකින් ඒ සිහිනයත් සැබෑ කරගන්න පුළුවන් වීම ගැන අද මම සතුටු වෙනවා. ‘හේනේපොළ ගුණරතන හෙරිටේජ් මධ්‍යස්ථානය’ නැරඹුම් මධ්‍යස්ථානයක් විතරක් නෙමෙයි. ශ්‍රවණය කිරීමට, අධ්‍යයනය කිරීමට සියලු පහසුකම් සම්පූර්ණ කර තිබෙන ලෝකයේ පිහිටි සුවිශේෂී බෞද්ධ මධ්‍යස්ථානයක්…” කෙටි අදහස් දැක්වීමකින් පසු ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ නිහඬ වූහ.

මේ වනවිට ‘භාන්තේ ජී’ ලෙස ලොව පුරා ගෞරවයට පාත්‍ර වී සිටින හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ පැවිදි ජීවිතයට ඇතුළත් වී ඇත්තේ 1939 වර්ෂයේදීය. ඒ වනවිට උන්වහන්සේට වයස අවුරුදු 12 කි. 1954 වර්ෂයේ දී ධර්ම දූත සේවයට මෙන්ම අධ්‍යාපනික කටයුතුවල නියැලීම සඳහා ඉන්දියාවට වැඩම කළ උන්වහන්සේ සාංචිය, දිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ රාශියක වසර තුනක පමණ කාලයක් ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වූහ. අනතුරුව උන්වහන්සේ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ ආරාධනාවකට මැලේසියාවට වැඩම කළහ. වසර දහයක් පුරාවට එරට ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වූ හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්ගේ උපදෙස් මත 1968 වර්ෂයේ දී ඇමරිකාවේ වොෂින්ටන් විහාරයට වැඩම කළහ. එරට ආරම්භ වූ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වූ වොෂින්ටන් පන්සල දියුණු කිරීමට හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ සිදු කර ඇති කැප කිරීම ද අපිරිමිතය. එමෙන්ම දැනුම සොයා යෑමට උත්සුක උන්වහන්සේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකින් අධ්‍යාපනය ලබාගනිමින් දැනුමෙන් පෝෂණය වූහ. ඒ වනවිට ඇමරිකාව තුළ ප්‍රසිද්ධ වෙමින් සිටි හෙනේපොළ ගුණරතන හාමුදුරුවන්ට ඇමරිකානු රජය විසින් භාරදූර රාජකාරියක් ද පැවරූහ. ඒ සරණාගතයන් ලෙස ඇමරිකාවට පැමිණෙන වියට්නාම ජාතිකයන්ගේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමය. එම කටයුත්ත සාර්ථකව නිම කළ හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ට ඇමරිකානු ගුවන් හමුදාව විසින් කර්නල් පදවියක් පිරිනැමූහ.

ලෝක ඉතිහාසයේ භික්‍ෂූන් වහන්සේනමකට ඇමරිකානු ගුවන් හමුදාව විසින් කර්නල් පදවියක් පිරිනැමූ ප්‍රථම අවස්ථාව එය විය. ඇමරිකා විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු භික්‍ෂූන් වහන්සේ ද හේනේපොළ ගුණරතන හමුදුරුවෝය. උන්වහන්සේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල රාශියක දේශන පවත්වා ඇත. ඇමරිකානු බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට ආරණ්‍ය සේනාසනයක් ආරම්භ කර ඇත්තේ ද හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ ය. ඒ වෙස්ට් වර්ජිනියා සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා (West Verginia Meditation Center) මධ්‍යස්ථානයයි. ලෝක ප්‍රකට ‘නැෂනල් ජියොග්‍රෆි සඟරාව විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකට අනුව එම භාවනා මධ්‍යස්ථානය ලෝකයේ සුවිශේෂී පූජනීය ස්ථාන 500 අතුරින් එකකි. මෙරට සිරිමා බෝධිය, දළදා මාලිගාව, දඹුලු විහාරය, පොලොන්නරුව ගල් විහාරය හතර ම ලෝකයේ සුවිශේෂී පූජනීය ස්ථාන 500 අතර ඉදිරියෙන් තිබේ. ඇමරිකාවෙන් හඳුනාගෙන තිබෙන එකම පූජනීය ස්ථානය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ ප්‍රමුඛ වී ගොඩනඟන ලද ‘වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානය’ පමණි. එමෙන්ම බටහිර සමාජය තුළ ‘භාවනා’ පාලි වචනය සහ භික්‍ෂූන් වහන්සේ අමතන ‘භන්තේ’ පාලි වචනය හඳුන්වාදී, ප්‍රචලිත කර ඇත්තේ ද හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ ය.

‘මයින්ඩ් ෆුල්නස්’ සතිමත් බව කියන වචනය ලෝකයට හඳුන්වා දෙමින් 1994 වර්ෂයේ දී හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ විසින් රචනා කර ඇති, විස්ටම් පබ්ලිකේෂන් යටතේ ප්‍රකාශයට පත් කර ඇති ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කරන ලද සමීක්‍ෂණයකට අනුව ලොව පුරා තිබෙන බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කර තිබේ. ලොව වැඩිම පාඨක පිරිසක් කියවන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් එම පර්යේෂණය සිදු කර ඇත්තේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු, විද්‍යාඥයන් මෙන්ම භාවනා ගුරුවරු සහ භාවනා කරන පුද්ගලයන් පාදක කරගෙනය. නිවැරදි සිහිය පිහිටුවාගැනීම යන කාරණය පිළිබඳ ඉගැන්වෙන එම ග්‍රන්ථය මේ වනවිට ලොව පුරා භාෂා තිහකට පරිවර්තනය කර තිබීම ද විශේෂත්වයකි. ඇමරිකාව තුළ මිලියන දහයකට අධික පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති එම ග්‍රන්ථය එරට වසර දහයක් පුරා ඉහළ ම ආදායම් ලබන කෘති අතර ඉදිරියෙන්ම තිබේ. භාවනාවෙන් සිත දියුණු කරගැනීම ඇතුළු ජීවිතය පිළිබඳ අවබෝධ කරදෙන ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථය ඇමරිකාව, එංගලන්තය සහ තායිලන්ත විශ්වවිද්‍යාල විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. එමෙන්ම මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ලොව පිළිගත් විශ්වවිද්‍යාල රාශියක සහ ජාත්‍යන්තර පාසල්වල නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස නම් කර ඇති බව ද වාර්තා වේ. මේ වනවිට ලෝකයේ මිලියන ගණනක් ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථය පරිශීලනය කර ඇති බව ද ඔවුන් මාර්ගයෙන් ක්‍රමානුකූලව තව තවත් එම ග්‍රන්ථය පාඨකයන් අතරට ආකර්ශනය වන බව ද වාර්තා වේ.

‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථය පදනම් කරගෙන තවත් පොත් රාශියක් උන්වහන්සේ විසින් රචනා කර තිබේ. ඒ සියලු පොත් භාෂා තුන, හතරකට පරිවර්තනය වීම ද විශේෂය. ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථය භාෂා තිහකට පරිවර්තනය වීම මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකු විසින් රචනා කරන ලද ග්‍රන්ථයක ඉහළ ම පරිවර්තනය ලෙස ඉතිහාසගත වන බව ද සතුටින් සිහිපත් කළ යුතුය. හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන් රචනා කරන ලද සියලු පොත්පත්වලින් යම් ආදායමක් ලැබේ නම් ඒ සියලුම මුදල් මෙරට දුගී දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට වෙන් කොට තිබීම ද විශේෂත්වයකි. වසර පහකට පෙර විස්ඩම් සඟරාව සිදු කළ සමීක්‍ෂණයක ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ සිටින සුවිශේෂී භික්‍ෂූන් වහන්සේ තෙ නම අතර හේනේපොළ ගුණරතන නාමය ද සඳහන් වී තිබේ. සෙසු දෙනම දළයි ලාමා සහ තික්නා ඛාන්ය. ලොව පුරා මෙවැනි අති උත්තම ශාසනික සේවයක් ඉටු කරමින්, ලෝක පූජිත වී සිටින මහාචාර්ය හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් මෙරට රජයෙන් දක්වා ඇති එකම උපහාරය මුද්දරයක් නිකුත් කිරීම පමණි. ඒ ගැන දීර්ඝව කතා කිරීම උඩබලාගෙන කෙළගසා ගැනීමක් නිසා අපි නිහඬ වීමු. අනූනව වන වියෙහි පසු වන, අදටත් වසරකට තුන් මාසයක් භාවනා යෝගීව වැඩසිටින, මනා සිහියෙන් අතීතය සිහිපත් කරන අපේ කාලයේ ධර්ම භාණ්ඩාගාරික ලෙස හේනේපොළ ගුණරතන නාහිමියන් ප්‍රකටය. හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ගේ වියපත් මතක තරුණ වූ අවස්ථාවක් මගේ මතකයට නැඟිණි.

“හේනේපොළ ගම පිහිටා තියෙන්නේ ගලගෙදර, දෙහිදෙණිය ග්‍රාම සේවා වසමේ. ගමටම හිටියේ පවුල් හතළිහයි. අපේ ගම කුඩා නිසා ගම්මුලාදෑනිවරයෙක් හිටියේ නෑ. දෙහිදෙණියේ ගම්මුලාදෑනියාම තමයි අපේ ගමෙත් රාජකාරි කළේ. පසුකාලීනව හේනේපොළ ගමට ආරච්චි මහත්තයෙක් හිටියා. ඒත් ගමේ මිනිස්සු ඔහුට කතා කළේ දෙහිදෙණියේ ආරච්චි කියලා. ඒ සන්ධියේ අපේ ගම හරිම සුන්දරයි. ගම්මානයම කඳු වළල්ලකින් වටවෙලා. හේනේපොළට නැඟෙනහිර දෙසින් වැලිවිට සරණංකර හාමුදුරුවන් ඉපදුණු ගම වෙන් වෙලා තිබුණේ කඳු වැටියකින්. බටහිර දෙසට ගලගෙදර කඳු වැටිය. තවත් කඳු මුදුනකින් අරඹේකඩ, නුවර ප්‍රදේශය වැහිලා. උතුරු දෙසට හාරිස්පත්තුව. දකුණින් හතරළියද්ද ප්‍රදේශයට යන තැනිතලා ප්‍රදේශය. ගම වටා ඇස ගැටෙන සෑම ඉසව්වකම කඳු වැටි අතර පහළට බහින කුඹුරු යායවල්. බැලූ බැල්මට පඩිපෙළ වගෙයි. ඒ අතර රබර් වතු, තේ වතු, පොල් වතු, පුවක් අරඹවල් ගම පුරා විසිරිලා. කෝපි පඳුරු, කිතුල්, කොස්, දෙල් වගේම අඹ, රඹුටන්, කෙසෙල් ආදී නොයෙක් පලතුරුවලින් අපේ ගම ස්වයංපෝෂිතව තිබුණා. ගමේ හැම ගෙදරකටම එළවළු කොරටුවක් තිබුණා. අල, බතල, වැල් අල, කිරි අල, ඉන්නල වැල් කිහිපයකුත් ඒ කොරටුවල සරුවට වැවිලා තිබුණා…” අනූනව වන වියෙහි පසු වන හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ගේ මතක ශක්තියේ තරම කියාපෑමට ඒ වචන ටික හොඳට ම ප්‍රමාණවත්ය.
ලෝකය පුරා ථෙරවාදී බුදුදහම ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ අතර පෙරමුණේ සිටින, ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝ නායක, අග්‍රමහා පණ්ඩිත, මහාචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා, බෞද්ධ සම්ප්‍රදායේ උරුමය සුරක්‍ෂිත කිරීම සහ ථෙරවාදී සම්ප්‍රදායේ විකාශනය පිළිබඳව ලොව දැනුවත් කිරීමට පිහිට වූ ‘භාන්තේ ජී හෙරිටේජ් මධ්‍යස්ථානය ලොව බැබළේවා! අපි ප්‍රාර්ථනා කරමු.
තරංග රත්නවීර

උපුටා ගැනීම දිවයින පත්තරෙන්.

Previous articleනොසිතූ මොහොතක දිවියෙන් සමුගත් හලාවත රෝහලේ තරුණ හෙද නිලධාරියා ගැන ඇසෙන සංවේදී සටහන මෙන්න.
Next articleයුධ සමය , සුනාමිය කොවිඩ් කාලේ මම කරපුවා කරන්ඩ උබලට ආත්ම ගානකට බැරි වේවී… වසර 27ක සේවා කාලය තුල මිනිසුන් වෙනුවෙන් කැපවූ ඔහුට ලැබුණු ස්ථාන මාරුව පිලිබද ආන්දෝලනාත්මක කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights