මම තාත්තාට වඩා හොඳ වෛද්‍යවරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝටම ප්‍රතිකාර කරනවා…” එදා අපහාස ගැරහුම් මැද ඩොක්ට ෂාෆිගේ දියණිය ජීව විද්‍යාවෙන් A 3ක්..

0
324

උසස් පෙළ ප්‍රතිඵල ආවා….

ඉතිං මේ පින්තූරෙ මොකට ද?

“ඔව්, ඒක හරි ම වැදගත්…”

මේ වෛද්‍යවරයා ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ. දෑතට මාංචු දාගෙන අරගෙන යන්නේ නොකළ වරදකට. එදා බොහෝ පිරිසක් මේ සිරගත කිරීම අනුමත කළා. එහෙත් හදවතින් කම්පා වූ සීමිත මිනිසුන් අතර මම ද සිටියෙමි.

මගේ හදවතට වැඩියෙන්ම දැනුණේ මේ අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසන ලද වෛද්‍යවරයාගේ වැඩිමහලු දියණිය එවකට මා සේවය කළ මලියදේව බාලිකාවේ ශිෂ්‍යාවක ලෙස අසරණ වූ අවස්ථාවේ දීය. මා ඒ පිළිබඳ මුහුණු පොතේ ලියා ඇත.

සෙයිනබ් ෂාෆි. නවය වසරේ ඉගෙන ගනිමින් සිටියා ය. තම පියාණන් නොකළ වරදකට සිරගත වෙද්දී ඇය මලියදේව බාලිකාවෙන් සදහටම පිටව ගිය අයුරු මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවේ. ඉන් පසු ඇය ගත කර තිබුණේ අතිශය වේදනාකාරී ජීවිතයකි. එහෙත් ඒ සියලු බාධක මැද ඇය අධ්‍යාපනය ජය ගත්තා ය. සාමාන්‍යපෙළ විභාගය 9A සහිතව සමත් වූවා ය. ඇය සමත් වූ බව සමාජ මාධ්‍යයෙන් දුටු මම අසීමිත සතුටකට පත් වුණෙමි.

“මම තාත්තාට වඩා හොඳ වෛද්‍යවරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝටම ප්‍රතිකාර කරනවා…”

ඇය සාමාන්‍යපෙළ ප්‍රතිඵලයෙන් පසුව අධිෂ්ඨානශීලීව පැවසුවා ය. අද නැවත ඇගේ හඬ මගේ දෙසවනට ආවේ උසස් පෙළ ප්‍රතිඵල සමගයි.

“සර්, මම ෂෙයිනබ්. සර්ට ප්‍රතිඵල කියන්න කතා කළේ. දිස්ත්‍රික් රෑන්ක් එක 12. මෙඩිසින් යන්න පුළුවන්…”

දියණියනි, ඔබ දිරිය දියණියකි. ඔබටත් ඔබේ පවුලටත් සමාජයෙන් හුදෙකලා කොට වෛරය මුදා හළ සමාජයට ඔබ ඉලක්කයටම පහර දී ඇත. මේ රෝගී වූ සමාජය සුවපත් කරන්නට ඔබට නැණ ගුණ සමග යෝධ බල යෝධ වීරිය ලැබේවා…! 🙏

✍ බණ්ඩාර තිලකරත්න

– උපුටා ගැනීමකි –

Previous article” අද ඔයාට තිබෙන දේ හෙට තව කෙනෙක්ගේ වෙන්න පුලුවන්… අද ඔයාට නැති දේ හෙට ඔයාගේ වෙන්න පුලුවන්…” රටක් ආදරේ කරන යොහානි මොකද්ද මේ කියන්නේ ?
Next articleජීව විද්‍යාවෙන් ඒ 4ක් අරන් ඩොක්ටර් කෙනෙක් වෙන්න හීන දකින පුංචි රූ රැජිනගේ කතාව මෙන්න…