මේ තරුණයාගේ සමුගැනීම කියන්නේ අන්න ඒ වගේ කතාවක්. ශාන්ත කුමාර විතාන සහ චන්දි කොඩිකාර යුවලගේ ආදරණීය පුතු රත්සර විතාන කියන්නේ බොහෝ දෙනා ආදරය කළ චරිතයක්.
ඔහුගේ නික්මයාම සමාජමාධ්‍ය තුළ අතිශ්‍යට සංවේදී පුවතක් වුණා සේම අදත් ඔහු ගැන මතකය අවදි වන්නේ මෙන්න මේ සටහන නිසයි. රත්සර ජීවත්ව සිටියා නම් අද ඔහුගේ උපන්දිනයයි. සුබපැතුම් එක්කරන්න සජීවීව ඔහු ළඟ නැතිවුණත්, මේ කවි පද ඔහුගේ මතකය යළි අලුත් කරාවි.
වෙසක් මාසේ දෙවෙනිදා අද
ඔබට අවුරුදු තිහ පිරෙයි පුත
පුරුදු විදියට ආදරය දී
ලියා දෙන්නෙමි සුබ පැතුම් පත
“වසර තිහකට කලින් දවසක
දෙව්ලොවෙන් ආ සුදු රෝස මල
ජීවිතේ සැනසීම සම්පත
ළඟට ළං කළ සෙනෙහසේ විල
ජීවිතේ හැමදාම නිදුකින්
සතුට සොම්නස පිරිවරාගෙන
මලක් පිබිදෙන පරිදි සැමදා
ආදරේකින් සිනාසෙනු මැන..”
රවුම් අකුරින් ලියා, පසෙකින්
ඔබේ පින්තූරයක් අලවා
බලා ඉන්නෙමි ඔබේ දෝතේ
තබන්නට මල් සුවඳ සඟවා
ඒත් ඔබ අද ළඟක නෑ මගෙ
දුරමදුර ගමනක් ගිහින්
නතර වූයේ කොහිද නොදනිමි
බලා ගන්නට බෑ ඇසින්
අන්තරා භවයක ද තවමත්
දෙව් ලොවට යන්නට කලින්
අලුත් ලිපිනය සොයමි ඔබගේ
පැතුම්පත දෙන්නට ගිහින්
ශකුවි










