සාමාන්‍යයෙන් ක්‍රීඩාව නතර කරන්නේ වැස්ස, අධික තාපය හෝ හිම පතනය වැනි ස්වාභාවික හේතුමත.
සමහර විට, සතකු පිටියට ඇතුළු වුවහොත් ක්‍රීඩාව කෙටි කාලයකට නතර වේ. නමුත් කුරුල්ලකු වෙනුවෙන් ක්‍රීඩා පිටියක් මාසයක් තිස්සේ වසා දැමීමේ සිදුවීමක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා විය.
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂිත කුරුලු විශේෂයකට අයත් ස්වදේශික කුරුල්ලකු පිටියේ බිත්තර දැමූ නිසා ක්‍රීඩා පිටියේ බලධාරීන් එවැනි තීරණයක් ගැනීම කාගේත් අවධානයට ලක්ව ඇත.
මේ සිදුවීම ඔස්ට්‍රේලියාවේ කැන්බරා සිට කිලෝමීටර් 17ක පමණ දුරකින් පිහිටි ජෙරබම්බරා ප්‍රාදේශීය ක්‍රීඩා සංකීර්ණයේ වාර්තා විය.
බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක් වන ඩේලි මේල් වාර්තා කරන පරිදි ක්‍රීඩා සංකීර්ණයේ කෘතිම පාපන්දු පිටියේ ප්ලෝවර්ස් නම් කුරුලු විශේෂයක් බිත්තර දමා ඇති බව සොයාගෙන තිබේ.
පක්ෂියා බිත්තර දමා ඇති බව සොයා ගැනීමෙන් පසු එම ක්‍රීඩා සමාජයේ තරග අසල පිහිටි වෙනත් ක්‍රීඩා පිටියකට ගෙන යන ලෙස දේශීය වනජීවී සංවිධානයක් වන වයිල්ඩ්කෙයාර් වෙතින් උපදෙස් ලැබී ඇත.
ප්ලෝවර්ස් කුරුල්ලන් සාමාන්‍යයෙන් තම පැටවුන් බිහි කළ පසු ඉතා ආරක්ෂිත බවත්, අනතුරක් දැනෙන විට ඔවුන් දැඩි ලෙස ආක්‍රමණශීලී වන බවත්, ඔවුන් තම පියාපත් ගසා, විශාල ශබ්ද නඟා ආක්‍රමණිකයන් පලවා හරින බවත් පැවසේ.
මේ පිළිබඳව එහි ක්‍රීඩා කවුන්සිලය පැවසුවේ, “අපගේ දේශීය කුරුලු විශේෂ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාශීලී විය යුතුයි. බිත්තර ඉවත් කිරීමට අවශ්‍ය නම්, විශේෂඥයන් ගෙන්වා අදාළ බලධාරීන්ගෙන් අවසර ලබාගත යුතුයි” යනුවෙනි.
මේ අතර, එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් දේශීය පාපන්දු කණ්ඩායම්වලට සතර දෙසින් කෘතඥතාව පළ විය. ඊට අමතරව, ක්‍රීඩා තරග සහ පුහුණුවීම් ස්ථාන මාරු කිරීමේදී සහයෝගයෙන් කටයුතු කර විකල්ප ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම ද ප්‍රශංසාවට හේතුවී තිබේ.









