නුගේගොඩ අනුලා විද්‍යාලයම අද කඳුළින් තෙත්වෙලා.
හැමෝගෙම ආදරය දිනාගෙන හිටපු, අනාගතයේ ලොකු හීන දකිමින් හිටපු ඒ රත්තරන් දියණිය, රුහිණි අකිත්මා මහාවත්ත අද අපෙන් සදහටම සමුගෙන ගිහින්.
පසුගිය නොවැම්බර් 28 වැනිදා කියන්නේ රුහිණිගේ පවුලේ අයට කවදාවත් අමතක නොවන අඳුරු දවසක්. එදා උදෑසන නිවසේ සාලයේ වාඩි වෙලා රූපවාහිනිය නරඹමින් හිටපු රුහිණි, පුටුවෙන් නැගිටලා යන්න හදද්දීම එකවරම සිහිසුන්ව ඇද වැටුණා.
වහාම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ රුහිණි, එදා ඉඳන් දින 52ක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලැබුවා. තමන්ගේ එකම වැඩිමහල් දියණිය ආයෙත් ඇස් ඇරලා බලනකම්, හිනාවෙනකම් ඒ අම්මයි තාත්තයි දහසක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති. නමුත් ඒ සියලු ප්‍රාර්ථනා සුන් කරමින් ඊයේ (24) ඇය මේ ලෝකයෙන් සදහටම දෑස් පියාගත්තා.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ රුහිණි, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට සියලු කටයුතු සූදානම් කරගෙනයි හිටියේ. ඇගේ පාඩම් පොත් ටික තවමත් ඇය එනතුරු බලාගෙන ඇති, ඒත් ඒ අකුරු කියවන්නට රුහිණි අද ජීවතුන් අතර නැහැ.
ව්‍යාපාරිකයෙකු වන අනුෂ්ක මහවත්ත මහතාගේ සහ රසිකා සුරංගි මහත්මියගේ ආදරණීය දියණිය වූ ඇගේ වියෝව ඇගේ කුඩා සහෝදරයාටත්, මුළු පවුලටමත් දරාගත නොහැකි වේදනාවක්.










