අනේ නංගියේ මට මැ.රෙන්න හිතෙනවා දරුවොත් එක්කම..බඩගින්න නිවාගන්නවත් විදියක් නැතුව අසරණ වූ මවක් කියන සවේදී සටහන මෙන්න..

0
24

“අනේ නංගියේ… මට මැරෙන්න හිතුනා දරුවොත් එක්කම. අපි කොහොමද ආයේ නැගිටින්නේ?”
මේ වචන ටික ඇහුනේ අද ඊයේ ගංවතුරෙන් බැට කාපු අම්මා කෙනෙක්ගෙන්. ඇය අතේ තිබුනේ තෙමී ගිය රෙදි කෑලි දෙකක් විතරයි. දරුවෝ දෙන්නා බඩගින්නේ අඬනවා. කෑම පාර්සලයක් ගන්න පෝලිමේ ඉද්දි ඒ අම්මාට දැනුනු ලැජ්ජාව, අසරණකම කොච්චරද කියනවා නම්… ඇයට හිතුනේ “මේ දුක විඳිනවාට වඩා මැරෙන එක සැපයි” කියලා.
අපි දකින්නේ වතුරෙන් යට වුණු ගෙවල් විතරයි. ඒත් ඒ ගෙවල් අස්සේ යට වුණු මිනිස්සුන්ගේ “බලාපොරොත්තු” අපි දකින්නේ නැහැ.

ඒ අම්මට වගේ එහෙම හිතෙන්නේ එයාට විතරක් නෙවෙයි, මේ වෙලාවේ ඇඳිවත විතරක් ඉතුරු වුන තවත් ඒවගේම මිනිස්සුන්ට ඔය දේ ඒ විදියටම හිතෙනවා. ඒ එයා නපුරු නිසාවත්, ආත්මාර්ථකාමී නිසාවත් නෙවෙයි. හැම පැත්තෙන්ම කරුවල වැටුනාම, තමන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැති වුනාම මිනිස්සුන්ට පේන්නේ එකම එක විසඳුමයි. ඒ තමයි මරණය. එයා හිටියේ “උග්‍ර මානසික කම්පනයක”.
සහන මල්ලක් උස්සන් යන අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. අපේ රුපියල් 5000 බඩු මල්ලට බැහැ එයාගේ හිතේ තියෙන බර අඩු කරන්න. ඒකට ඕන “වචනයක්”.❤️ ආදරණීය වචනයක්!
අපි එයාලගේ බඩගින්න නිවන ගමන් හිතත් නිවන්න උදව් කරමු 👇

💁‍♀️ බත් පැකට් එක දෙන ගමන් හිතටත් බෙහෙතක් දෙන්න
ඔවුන්ට අවශ්‍ය කෑම විතරක් නෙවෙයි. “අපි ඔයාලත් එක්ක ඉන්නවා… බය වෙන්න එපා” කියන වචනය ඔවුන්ට මහමෙරක්. බඩු මල්ල දීලා photo ගහලා එනවට වඩා, විනාඩියක් එතන රැඳිලා ඔවුන්ගේ දුක අහන්න.

💁‍♀️ අනුකම්පාව නෙවෙයි, ගෞරවය දෙන්න
“අනේ පව්” කියලා ඔවුන් දිහා බලන්න එපා. මේ ඉන්නේ අපේම සහෝදරයෙක්, සහෝදරියක් කියන හැඟීමෙන් උදව් කරන්න. ඔවුන්ට දැනෙන්න හරින්න එපා ඔවුන් යාචකයෝ කියලා. එයාලගේ දුක සමාජ ජාල වල අනවශ්‍ය විදියට දාන්න එපා. ඒක එයාලගෙ ගෞරවයට හානියක්.

💁‍♀️ “ඔයිට වඩා ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා” කියන්න එපා
ඔවුන්ගේ දුක හෑල්ලු කරන්න එපා. ඒ වෙලාවේ ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක. නිකන්ම අහගෙන ඉන්න. ඒ ඇති.ඒ ප්‍රශ්නය ඔයාට වුනා කියලා හිතුවොත් ඒක දරාගන්න කොච්චර අමාරුද කියලා ඔයාටත් දැනේවි.

💁‍♀️ පරිස්සමෙන් ඉන්න
කවුරු හරි කෙනෙක් කණ්ඩායමෙන් ඈත් වෙලා තනියම ඉන්නවා නම්, කෑම කන්නෙම නැත්නම්, ජීවිතේ ගැන කලකිරීමෙන් කතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැන විමසිලිමත් වෙන්න. ඔවුන්ට තනිවෙන්න දෙන්න එපා.
භෞතික දේපල නැවත හදන්න පුළුවන්. ඒත් බිඳුණු හිතක් හදන්න හරි අමාරුයි. ඒ නිසා බත් පැකට් එක වගේම, ඔබේ කාරුණික වචනයත් අරන් යන්න.

සමහරවිට ඒ වචනය නිසා හෙට දවසේ තව එක ජීවිතයක් හරි ආරක්ෂා වේවි. ❤️
ස්තූතියි.
-හෙදියකගේ දිනපොත-

Previous articleලොකු ව්‍යසනය පසුව ඇතුවූ කම්පනය නිසා පීඩා විදින පුංචි මල් කැකුළු ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleකුණාටුවෙන් බේරුණු ඔබේ ජිවිතය මඩ වතුරට හසු කරගන්න එපා.. මීයන් නිසා රෝගී වෙන අමුතුම විදියේ ආරංචිය මෙන්න.