Home දේශිය පුවත් යුක්තියේ දෙවඟන ඇස් අරියි! වසර 9කට පසු විද්‍යාගේ ආත්මයට සැනසීමක් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

යුක්තියේ දෙවඟන ඇස් අරියි! වසර 9කට පසු විද්‍යාගේ ආත්මයට සැනසීමක් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව.

0
1722
වසර නවයකට පෙර යාපනය පුන්කුඩුතීවූ මීදුම් පටල අතරින් ඇසුණු ඒ අහිංසක විලාපය අදටත් අපේ මතකයෙන් මැකී ගොස් නැත. 

සුදු නිල ඇඳුමෙන් සැරසී අකුරු කරන්නට ගිය සිවලෝගනාදන් විද්‍යා නම් 18 හැවිරිදි මල් කැකුළ අමානුෂික ලෙස පොඩි කර දැමූ ඒ පාපතරයන්ගේ ඉරණම අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසාන වශයෙන් තීන්දු කරනු ලැබීය.

ඒ, යුක්තියේ දෙවඟන කිසිවිටෙකත් ඇස් වසාගෙන නොසිටින බව මුළු රටටම පසක් කරමිනි..තමන් කළ ම්ලේච්ඡ ක්‍රියාවෙන් නිදහස් වී යළිත් ලෝකය දකින්නට ස්විස් කුමාර් ඇතුළු පිරිස උත්සාහ කළද, ශ්‍රේෂ්ඨාධිකරණය අද එම බලාපොරොත්තු සුන් කර දැමීය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය වූයේ, 2017 දී ලබාදුන් මරණීය දණ්ඩනය නොවෙනස්ව පැවතිය යුතු බවයි.

ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකුගේ අභියාචනා නිෂ්ප්‍රභ විය.
සාක්ෂි මදකම මත තවත් දෙදෙනෙකු නිදහස් කිරීමට නියම විය.
නඩු විභාගය අතරතුර එක් විත්තිකරුවෙකු මියගොස් තිබුණි.
අද අධිකරණ ශාලාව තුළ දිගහැරුණේ අමුතුම දර්ශනයකි. මරණ දඬුවම නියම වූ ඝාතකයන් තිදෙනෙකු බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ තීන්දුව අසා සිටියේ මුළු රටම හුස්ම අල්ලාගෙන සිටියදීය. තාක්ෂණය දියුණු වුවත්, ඔවුන් කළ ඒ නොදියුණු, ම්ලේච්ඡ ක්‍රියාවට ලැබිය යුතු උපරිම දඬුවම ඒ මොහොතේ තහවුරු විය.

2015 මැයි 13 වැනිදා යාපනයෙන් ඇසුණු ඒ පුවතින් දකුණේ මිනිසුන්ගේ පවා පපුව පැලී ගියේය. බලපෑම් මැද ස්විස් කුමාර්ව කොළඹට පන්නන්නට උත්සාහ කළ හැටිත්, ජනතාව වීදි බැස යුක්තිය ඉල්ලූ හැටිත් අදටත් ඉතිහාසයේ ලියැවී තිබේ.

අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව හුදෙක් දඬුවමක්ම පමණක් නොවේ. එය තම දියණිය වෙනුවෙන් හඬා වැලපුණු ඒ අසරණ මවටත්, ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නගන සමස්ත සමාජයටත් ලැබුණු සදාචාරාත්මක ජයග්‍රහණයකි.

Previous articleරැජිණියේ” චිත්‍රපටයෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ. අපි ඉතාම හොඳ දක්ෂයෝ ටිකක් තෝරගෙන තියෙනවා. ලංකාවේ ඔයිට වැඩිය හොයාගන්න බැරි වෙයි මට. – රැජිණියේ නිෂ්පාදක ආචාර්ය ජයන්ත ධර්මදාස
Next articleප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් නොසිතූ නිමේෂයක ජීවිතය හැරයයි..
error: Content is protected !!
Verified by MonsterInsights